රනිල් බේරන්න උසාවිය ළඟ ඇවිත් විරෝධතා දක්වපු අයට නඩු දැම්මොත් ලෝයර්ලා දෙන්න සජිත් ලෑස්තිලු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිදහස වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට, නීතිඥවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයන්ට, පොදු මහජනතාවට සහ ඒ වෙනුවෙන් එක්වූ සියලු දෙනාට තම ගෞරවය හා ස්තූතිය පිරිනමන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නායකයන් සහ නියෝජිතයන්ගේ හමුවකදී ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හේතුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බරපතළ අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා, සියලු පාර්ශවයන් එක්ව ඒකාබද්ධ හා අඛණ්ඩ වැඩපිළිවෙලක් දියත් කිරීමේ වැදගත්කම විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය. ඔහු පෙන්වා දුන්නේ, මෙම තත්ත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබිඹු කරන බවයි.
මෙම හමුවේදී අදහස් දැක්වූ විපක්ෂ නායකයන් පවසා සිටියේ, විරෝධතාවලට එක්වූ පිරිස් බිය ගැන්වීමට ආණ්ඩුව විවිධ උපාය මාර්ග භාවිත කළ බවයි. එවැනි තර්ජන හමුවේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම ද ඔවුන් අවධාරණය කළහ.
එවැනි තර්ජන හෝ බලපෑම්වලට ලක්වන පුද්ගලයන්ට වහාම නීතිමය ආධාර ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඒ සඳහා විශේෂ නීතිඥ මණ්ඩලයක් පිහිටුවීමට යෝජනා කළේය. එම මණ්ඩලයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා නම් කරනු ලැබීය.
එසේම, මෙම අරගලයට සම්බන්ධ වූ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෙනත් පාර්ශවයන් ඇතුළු පුළුල් එකමුතුවක් ගොඩනැගීමේ අරමුණින්, ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමට හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය යන මහත්වරුන් නම් කරනු ලැබිණි.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ මෙම ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීමට සියලු පාර්ශවයන් එක්ව කටයුතු කළ යුතු බවයි. මෙම හමුව, රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා එක්සත් පෙරමුණක් ගොඩනැගීමේ තවත් එක් පියවරක් ලෙස සැලකේ.