පච්ච කොටන කෙල්ලො කොල්ලොන්ට විශේෂ දැනුම්දීමක්..මේ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්න..

Sri Lanka Politician Sri Lanka Ministry of Health Sri Lanka Tattoo National Health Service
By Aruna Jul 24, 2023 02:07 AM GMT
Aruna

Aruna

Report

පච්ච කෙටීමේදී විවිධ රෝග බෝවීමේ දැඩි අවදානමක් පච්චා කොටන ආයතන නියාමනයට රජයේ කිසිදු අවධානයක් යොමු නොවීම සහ බොහෝ ආයතන නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ඒඩ්ස් ඇතුළු සමාජ රෝග සහ විවිධ ලෙඩ රෝග බෝවීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ටැටූ සංගමය සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා ටැටූ සංගමය පවසන්නේ, මෙරට පන්දහසකට(5000) ආසන්න ටැටූ ආයතන ප්‍රමාණයක් ඇති අතර, ඉන් 140ක් පමණක් සංගමය යටතේ ලියාපදිංචි වී ඇති බවයි.

එම සංගමය පෙන්වා දෙන්නේ, පච්ච කොටන සියලුම ආයතනවලට ශල්‍යාගාරයක ඇති පහසුකම් සැපයිය යුතු අතර පච්ච කෙටීමට යොදාගන්නා වැඩබිම විෂබීජහරණය හා උපකරණ ජීවානුහරණය කර තිබිය යුතු බවයි.

එමෙන්ම පච්ච කෙටීමට යොදාගන්නා කටු වර්ග එක්වරක් පමණක් භාවිත කළ යුතු අතර, ඇතැම් ආයතන ඒවා විෂබීජහරණය කිරීමකින් තොරව කිහිපවාරයක්ම භාවිත කරන බවත් ඔවුන් පවසනවා.

මේ හේතුවෙන් සමාජ රෝග ඇතුළු විවිධ රෝග බෝවීමේ අවදානමක් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මෙලෙස භාවිත කරන කටු වර්ග විනාශ කරදැමීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බවද ඒවා නිසි පරිදි බැහැර නොකිරීමෙන් පවා ජනතාවට හානිකර විය හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මේ අතර,එම සංගමයේ නිර්මාතෘ සජිත් ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ , පච්ච කෙටීමේ ආයතනයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතියක් ලබාගැනීමට පවා මෙරට පහසුකමක් නොමැති බවයි.

“අපිට බීආර් එකක්වත් ගන්න ක්‍රමයක් නැහැ. මේ නිසා ටැටූ කරන ළමයෙක්ට ආයතනය දියුණු කරන්නැයි කියා නීත්‍යනුකූලව ණයක්වත් ගන්න බැහැ. හැබැයි බදුත් ගෙවනවා.

ටැටූ ගැන ඉගෙනගන්න ලංකාවේ රජයේ කිසිදු ආයතනයක පාඨමාලාවක් නැහැ. කිසිදු දැනුමක් නැති අය දැන් ටැටූ ගහනවා.

ලංකාවේ එහෙම වුණත් පිටරටවල වෙනම පුහුණු පාඨමාලාවක් හදාරන්න ඕනෑ. අපි වෘත්තීය පුහුණු පාඨමාලාවකට අවශ්‍ය විෂය නිර්දේශයක් හදලා දුන්නා.

ඒත් ඒ ගැනවත් රජයේ අවධානයක් නැහැ. හොර පාරේ ගේන උපකරණ නිසා ලෙඩරෝග බෝවෙනවා. මේ නිසා සමාජ රෝග ආදිය බෝවීමේ වැඩි අවදානමක් තියෙනවා.

වසර පහකට සැරයක් හෙපටයිටිස් සඳහා එන්නත් විදගැනීම අත්‍යවශ්‍යයි. ඒත් ගොඩක් අය එහෙම විදගන්නෙ නැහැ. ලෙඩ රෝග හැදුන ගොඩක් අය අපිව හොයාගෙන එනවා.

තුවාලවෙලා. බිබිලි දාලා. විවිධාකාරයේ රෝග හැදිලා. සමහරුන්ට හැදිලා තියෙන්නේ මොන වර්ගයේ ලෙඩක්ද කියලා අපි දන්නෙත් නැහැ.

හරියට ටැටූ එකක් ගැහුවා නම් මේ කිසිදු ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ. බොඩි මොඩිෆිකේෂන් කරන්න කලින් සෞඛ්‍ය තත්ත්ත්වය පවා පරීක්ෂා කරන්න ඕනෑ.

අඩුම තරමේ අපේ රටේ සෞඛ්‍ය බලධාරින්ටවත් මේ ගැන හරිහමන් අවබෝධයක් නැහැ. ”

අප මේ සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණගෙන් කළ විමසීමේදී ඇය කියා සිටියේ, දැනට හඳුනාගත් රෝගීන්ට රෝගය වැලඳුනේ කෙසේදැයි නිශ්චිතවම හඳුනාගෙන නොමැති බවයි.

එහෙත් පච්ච කෙටීමේදී හෙපටයිටිස් රෝගය වැලඳීමේ අවදානමක් ඇතැයිද ඇය වැඩි දුරටත් කියා සිටියා.

ReeCha