රු. මිලියන 6.6ක් ගෙවන්න, පුවත්පත්වල සමාව ඉල්ලන්න - හිටපු ඇමති ෆවුසිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජය විසින් පරිත්‍යාග කර තිබූ වාහනයක් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව රුපියල් මිලියන 6.6ක මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු අමාත්‍යවරයාට නියෝග කර ඇත.
එම මුදලින් රුපියල් 1,664,334.93ක මුදලක් මාසයක් ඇතුළත ගෙවිය යුතු අතර, ඉතිරි මුදල මාස දෙකක් ඇතුළත ගෙවීමට නියම කර තිබේ.
මීට අමතරව, අදාළ වාහනයේ ඡායාරූපයක්ද සහිතව සිළුමිණ, සන්ඩේ ඔබ්සර්වර් සහ තිනකරන් පුවත්පත්වල මුල් පිටුවේ අඩක ප්‍රමාණයක සමාව අයැදීමේ දැන්වීමක් පළ කරන ලෙසද අධිකරණය නියෝග කර ඇත.
එම දැන්වීම මාසයක් ඇතුළත පළ කළ යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත.
ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.