ජනපති හදිසියේ පැනවූ මොකක්ද මේ හදිසි නීතිය..? නොදැන අනතුරේ වැටීමට පෙර ඔබත් දැනගන්න..

By Sithumi May 06, 2022 05:45 PM GMT
Sithumi

Sithumi

Report

අද (6) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවන බව ප්‍රකාශ කිරීමත් සමඟ, ඒ ගැන කතා බහක් සමාජය තුළ මේ වනවිට ඇති වී තිබෙනවා. මීට පෙරද ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පනවා එය අවලංගු කරනු ලැබුවා.

නමුත් බොහෝ දෙනෙකුට හදිසි නීතිය යනු කුමක්දැයි යම් අදහසක් ඇතත්, ඒ පිළිබඳව විග්‍රහයක් කිරීමට තරම් අවබෝධයක් නැති තරම් ය. සැබවින්ම හදිසි නීතිය කියා වෙනමම නීතියක් පවතිනවා ද ? නැත්නම් ඒ හදිසියේ පනවන නීතියක් ද?

මේ ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විග්‍රහයක්..., අපරාධ නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ව ගත් කළ ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති පසිඳලීමේ ක්‍රමයේ කොඳු නාරටිය ලෙස මෙම අංශ හඳුන්වනවා.

හදිසි අවස්ථාවකදී හදිසි අවස්ථා බලතල යොදා ගැනීමට සහ යම් යම් අයිතිවාසිකම් සීමා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් විධිවිධාන සලසා ඇති ආකාරය සියලුම දෙනා දන්නා කාරණයක්. නිදහස ලැබීමට පෙර පනවන ලද මහජන ආරක්ෂක ආඥා පනත මගින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට සහ එහි 5 වන වගන්තිය යටතේ මහජන ආරක්ෂාව වෙනුවෙන් හෝ මහජන සාමය පවත්වාගෙන යාම සහ කැරැල්ලක් මැඩපැවැත්වීම හෝ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන සැපයුම් සහ සේවාවන් පවත්වාගෙන යෑම සඳහා හදිසි අවස්ථා රෙගුලාසි පැනවීමට ජනාධිපතිවරයාට (එවකට අග්‍රාණ්ඩුකාරවරයාට 1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙම ධුරය අවසන් වරට මෙරට තුළ ක්‍රියාත්මක විය.) බලය පැවරුණා.

මහජන ආරක්ෂක පනතේ 5 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පනවනු ලබන හදිසි නීති රෙගුලාසි වලංගු වන්නේ මාසයක කාලයක් සඳහා පමණක් වන අතර, ඒවා වලංගුව තබා ගැනීම සඳහා මාසයකට වරක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි. මහජන ආරක්ෂක පනත යටතේ තවත් විශේෂ බලතල සමූහයක් ද ජනාධිපතිවරයාට පැවරී තිබෙනවා.

ඒ අතර පැවරී ඇති බලතල ප්‍රකාරව අතර, 12 වන වගන්තිය මගින් සන්නද්ධ හමුදා රාජකාරි සඳහා කැඳවීමේ බලය ද, 16 වන වගන්තිය යටතේ ඇඳිරිනීතිය පැනවීමේ බලය ද, 17 වන වගන්තිය යටතේ යම් යම් සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කිරීමේ බලය ද ජනාධිපතිවරයා සතුවනවා. හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබුණ ද නොතිබුණ ද මෙම විශේෂ බලතල ක්‍රියාත්මක කළ හැකිවීම ද 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති බලයක්. .

මීළඟට අප සලකා බැලිය යුත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පිළිබඳවයි. එය සෘජු ලෙස හදිසි නීතියක් නොවුණත් එය හදිසි නීතියට ගැනෙන්නක්. වර්ෂ 1979 දී මෙම පනත පනවන ලද්දේ උතුරු පළාතේ ඇති වූ ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමට වන අතර, මෙම පනතෙහි ආරක්ෂාවට අදාළව පුළුල් වැරදි රැසක් ඇතුළත් කොට ඇති අතර එමගින් සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා ද පුළුල් බලතල ලබා දී තිබෙනවා.

ඒ අනුව හදිසි අවස්ථාවක් යනුවෙන් අර්ථකථනය කරන්නේ අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයන්හි දී ලබානොදෙන අයුරින්, එකී බලතල; රජයට ලබාදෙමින්, තර්ජනයක් අනතුරක් හෝ ව්‍යසනයක් පැහැදිලි ලෙස ම පවතින තත්ත්වයක් තුළ දී එය පාලනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනරජයේ සේනාධිනායකයාට නොහොත් සත්‍ය විධායකයට පැවරී ඇති උපරිම බලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක දී ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සහතික කිරීම පිණිස හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතලයයි.

මෙම අවස්ථාව මහජන ආරක්ෂක පනතේ ද විස්තර කෙරෙන්නේ ඒ අයුරිනි. එමෙන්ම නිවේදනයක් මගින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ තනි කරවූ අභිමතානුසාරී බලය ජනාධිපතිවරයා සතුව පවතිනවා. එය 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය යටතේ පැවරෙන අතර එම නිවේදනයන් පාර්ලිමේන්තුව වෙත සන්නිවේදනය කළ යුතු වනවා.

ඒ සඳහා ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව කැඳවිය යුතු වනවා. හදිසි අවස්ථා තත්ත්වයන් ප්‍රකාශයට පත් කිරීම අධිකරණයක දී අභියෝගයට ලක් කළ නොහැකියි බවයි ව්‍යවස්ථා නීතියේ දැක්වෙන්නේ. හදිසි අවස්ථා තත්ත්වයක් මාසයක කාලයක් සඳහා ජනාධිපතිවරයාට නිකුත් කිරීමට බලය පැවරී තිබෙනවා. මාසයක් ගතවීමට පෙර එය අවලංගු කිරීමට ද අවස්ථාව ඇත්තේ ජනාධිපතිවරයාටය. දින 14ක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුයි. එය එසේ සිදු නොවුනහොත් නිවේදනය අවලංගු වනවා.

සෑම දින 30කටම වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකියි. නමුත් එයට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය ද හිමි විය යුතු වනවා. මෙම හදිසි නීතිය පැනවීම පුරවැසි අයිතිවාසිකම් කෙරෙහි දැඩි බලපෑම් එල්ල කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කරන ලද ඇතැම් මූලික අයිතිවාසිකම් සහ අනෙක් නීතීන්වලින් පැන නගින අයිතීන් ගණනාවක් වෙත හදිසි අවස්ථා රෙගුලාසි මගින් සීමා කිරීම පැනවෙනවා.

හදිසි නීතිය සහ ඇඳිරි ඇඳිරි නීතිය අතර වෙනසක් තිබේද ?

එමෙන්ම හදිසි නීතිය සහ ඇඳිරිනීතිය යනු විෂයයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන්නක්. ඇඳිරිනීතිය පැනවීමට පොලිස්පතිවරයාට ද බලය හිමිව ඇති අතර, එහෙත් හදිසි නීතිය හෙවත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ හැක්කේ එකී ජනරජයේ සේනාධිනායකයාට හෙවත් විධායක බලතල හිමි එකී රජයේ ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාටයි. ඒ අනුව ,අද් (6) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද සිට බලපැවැත්වෙන පරිදි මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස පනවනු ලැබුවේ හදිසි නීතිය හෙවත් හදිසි අවස්ථා තත්ත්වය වන අතර, එම තත්ත්වය අප්‍රේල් මාසය තුළ ම ක්‍රියාත්මක වනු ඇති.

ශ්‍රී ලංකා ජනරජය ඒකීය ව්‍යවස්ථාවකට හිමිකම් කියනු ලබන රාජ්‍යයක් වන අතර, එහි විධායක බලතල හිමිව ඇත්තේ ජනාධිපතිවරයා වෙතය. නමුත් මෙරට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රංශයේ මෙන් ඩිගෝල් ව්‍යවස්ථාවට අනුකූලව සකසමින් දෙමුහුන් ආණ්ඩුක්‍රමයක් ගොඩනැගීමට උත්සාහ කළ නිසා මෙහි ව්‍යවස්ථාදායක වගකියනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩයටයි. ඒ සාමූහික වගකීමේ ප්‍රතිපත්තිය යටතේ යි.

ඒ අනුව මෙවන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමේ දී දේශපාලන විධායකයේ ඇතැම් බලතල සමානව හිමිව ඇති කැබිනට් මණ්ඩලයට ද ඒ සඳහා අතපෙවීමේ අවස්ථාව එමටය. ශ්‍රී ලංකාව තුළ නිදහසින් පසුව විවිධ අත්‍යවශ්‍ය අවස්ථාවන්හි දී හදිසි අවස්ථාව ක්‍රියාත්මක කෙරුණා. ඒ අතර කුරිරු යුද්ධයක් පැවැති එල්.ටී.ටී.ඊ. යුද සමය, 1982 හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාසගේ පාලන සමයේ දී පැවති ජනමත විචාරණ අවස්ථාවේ දී ඇති වූ කලහකාරී මැතිවරණ සිදුවීම මෙන්ම, පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ දී හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කෙරුණා. 

 ශ්‍රී ලංකාවේ පමණක් නොව, ලෝකයේ බොහෝ රාජ්‍යයන්වල යම් යම් අවස්ථාවල දී හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අයුරු මතක් කළ හැකියි. ඒ අතර, මෙම වසරේ පෙබරවාරි මස දී ඇරඹුණු යුක්‍රේන - රුසියානු යුද අර්බුදයේ දී යුක්‍රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපති වොලොඩ්මීර් සෙලෙන්ස්කි පියවර ගත්තා.

එමෙන්ම කොවිඩ් 19 වසංගතයේ පළමු රැල්ල තුළ දී නවසීලන්තය, චීනය ද රට සම්පූර්ණයෙන් ම වසා දමමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ මහජන සුරක්ෂිතතාව ප්‍රමුඛ වන නිසයි. 1915 - 18 සහ 1939 - 1945 තෙක් අවස්ථා දෙකක දී ඇවිළුණු පළමුවන ලෝක යුද්ධය සහ දෙවැනි ලෝක යුද්ධය පවතින අවස්ථාවලදී ද මිත්‍ර රාජ්‍යයන් සහ ,මධ්‍යම බලවතුන්ගේ පිලට අයත් රාජ්‍යයන් ද තමන්ගේ රාජ්‍යයන් තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කළ අවස්ථා ඕනෑ තරම් පෙන්වා දිය හැකියි.

මූලාශ්‍ර - හිරු නිව්ස්