ඖෂධ හිඟය සොයා බලන්නට පත් කළ කමිටු වාර්තාව ජනපතිට

By Sithumi Sep 04, 2022 02:30 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීම ජනාධිපති කාර්යාලයේ දි සිදු විය. 

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාව අතරතුර මෙම වාර්තාව බාරදීම සිදු වූ අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍යවරුන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පත්ව ඇති අසීරුතාව සමනය කිරීමට කඩිනම් ක්‍රමවේදයක් අවශ්‍ය බව එහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඖෂධ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා අනෙකුත් අවශ්‍යතා පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන සමග සාකච්ඡා කරන බව ද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආදී ආයතන අතර සම්බන්ධීකරණයේ දී පවතින අඩු පාඩු අදාළ කමිටු වාර්තාව මගින් හඳුනාගෙන තිබේ. එබැවින් සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් සම්බන්ධීකරණ කමිටුවක් පත් කර, මාසික ප්‍රගති සමාලෝචනයක් ලබා ගැනීමට ද එම වාර්තාවෙන් යෝජනා කර ඇත.

පසුගිය අවුරුදු කිහිපයේ දී විගණකාධිපති වාර්තා නිර්දේශ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග අවම වීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා පසුගිය අවුරුදු පහ ඇතුළත ඉදිරිපත් කරන ලද විගණකාධිපති නිර්දේශ පිළිබඳ අධ්‍යයනයට තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ද කමිටු වාර්තාව මගින් යෝජනා කර තිබේ. 

 ඖෂධ සඳහා රජය දරනු ලබන මුදලින් 40%කට ආසන්න ප්‍රමාණයක් වෙන් කෙරෙන්නේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සපයා ගැනීමටයි. පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධවල මෙන්ම ඉන්සියුලින් හිඟයක් ද පවතින අතර එම ගැටලුව කඩිනමන් නිරාකරණය කර ගැනීමට පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.