ඔබත් පරිස්සමෙන්.. නිළධාරියෙකු ලෙස හගවමින් මුදල් ගැනීමට පැමිණි පුද්ගලයා..

By Sithumi Dec 30, 2022 04:00 PM GMT
Sithumi

Sithumi

Report

ජලසම්පාදන මණ්ඩලයේ විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් ජල සැපයුම විසන්ධි කරන බව පවසා  කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය පවසනවා.  

රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ කම්කරුවෙකු ලෙස සේවය කරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  සැකකාර පුද්ගලයා කැස්බෑව ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකට ගොස් තමන් ජලසම්පාදන මණ්ඩලයේ ජල සැපයුම විසන්ධි කරන නිලධාරියෙකු ලෙස හඳුන්වා දෙමින් ආයතනය මගින් නිකුත් කරන ලද හැඳුනුම්පත පෙන්වා එම ආයතනයේ ජල බිල්පත්  පරීක්ෂාකර බිල් නිසි පරිදි නොගෙවීම හේතුවෙන් ජල සැපයුම විසන්ධි කිරීමට සිදුවන බවට පවසා තිබූ බව පොලීසිය පවසනවා.  

ජල සැපයුම විසන්ධි නොකර සිටීමට නම් තමන්ට රුපියල් 4,000ක මුදලක් ලබාදෙන ලෙසත් සැකකරු පවසා ඇති අතර එතරම් මුදලක් නොමැති බව ව්‍යාපාරිකයා පැවසීමෙන් අනතුරුව තේ බීමට රුපියල් පන්සියයක් ලබාදෙන ලෙස  සැකකරු ව්‍යාපාරිකයා ට පවසා තිබූ බව පොලීසිය පැවසුවා.

  ඒ අනුව ව්‍යාපාරිකයා රුපියල් පන්සීයක් එම පුද්ගලයාට ලබාදී ඇති අතර ඔහු එම මුදල ගත් සැණින් එම ස්ථානයෙන් පිටවීම පිළිබඳ සැක සිතූ ව්‍යාපාරිකයා ජල සම්පාදන මණ්ඩලයට දුරකථන ඇමතුමක් ගෙන තම ගිණුම් අංකය පවසා ජල සැපයුම විසන්ධි කිරීමට නිලධාරියකු යොමුකළේ දැයි විමසා තිබෙනවා.

එලෙස නිලධාරීයෙකු යොමු නොකළ බවත් විසන්ධි කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් පැවසීමෙන් අනතුරුව ව්‍යාපාරිකයා ඔහු හමුවට පැමිණ පිටවී ගිය පුද්ගලයා ගැන  සොයාබැලීමේදී සැකකරු තවත් ව්‍යාපාරික ස්ථානයකට ගොස් ඒ අයුරින්ම එම ව්‍යාපාරිකයා සමග කතාබස් කරමින් සිටියදී ඔහු සමඟ එක්ව සැකකරු අල්ලාගෙන පොලීසියට  භාරදී තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු මහරගම පන්නිපිටිය පදිංචිකරුවෙක්.  

පාරිභෝගිකයකු ගේ ජල සැපයුම විසන්ධි කිරීමට නම් අනිවාර්යෙන්ම ඉංජිනේරු සහකාරවරයෙක් පැමිණිය යුතු යැයි ජල ජලසම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පවසනවා.  

කැස්බෑව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. එම්. ආර්. සමරසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සුරංග රණවීර, පොලිස් කොස්තාපල් (75769) ජයතුංග මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරයි.