ඔබත් පරිස්සමෙන් කතිකාර්‍යවරුන් පවා හසුවුණු අන්තර්ජාල මුදල් සොරකම්..
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කරන පුද්ගලයන් මුලාකර රුපියල් කෝටි 02කට අධික මුදලක් වංචා කළ සංවිධානාත්මක කල්ලියක් ගැන තොරතුරු හෙළිවී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එම කල්ලියේ සාමාජිකයින් 08 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ වංචාවලට හසුවූ පුද්ගලයන් 32ක් පමණ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි කර ඇති බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කරන්නේ.
දිවයිනේ සෑම පළාතමක පුද්ගලයින් මෙම වංචාවට හසුවී ඇති බවද පොලීසිය පැවසුවා. ඒ අතර බැංකු කළමනාකාරවරුන්, කථිකාචාර්යවරුන්, ආචාර්යවරුන් ඇතුළු විවිධ තරාතිරමේ පුද්ගලයන් රැසක් සිටින බවද පොලීසිය පවසනවා.
විවිධ භාණ්ඩ විකිණීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පළ කරන පුද්ගලයන් අමතමින් එම භාණ්ඩය දින කිහිපයක් ඇතුළතදී මිලදී ගන්නා බවත් කිසිවකුට අලෙවි නොකරන ලෙසත් ඒ වෙනුවෙන් අත්තිකාරම් මුදලක් බැංකු ගිණුමට දමන බවත් පවසා භාණ්ඩය අලෙවි කරන පුද්ගලයාගේ ගිණුමට පිවිසීමට ගිණුම් හිමියාගේ ජංගම දුරකථනයට එක්වරක් පමණක් ලැබෙන මුරපදය හෙවත් OTP කේතය උපක්‍රමශීලීව ලබාගෙන ඉතා සුළු මුදලක් ප්‍රථමයෙන් බැරකර විශ්වාසයක් දිනාගැනීම මෙම කල්ලිය විසින් ඉතා සූක්ෂම ලෙස සිදුකර තිබෙනවා.
මෙම කල්ලිය විසින් වෙනත් පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් යොදාගෙන ගිණුම් ආරම්භ කර එම ගිණුම්වලට භාණ්ඩ අලෙවිකරණ පුද්ගලයාගේ බැංකු ගිණුමේ තිබෙන මුදල් සූක්ෂම ලෙස බැරකර ගෙන මෙලෙස මහා පරිමාණ වංචා සිදුකළ පුද්ගලයන්.
මෙම කූඨ වංචාව සිදුකර ඇත්තේ මහනුවර සහ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ පදිංචිය තහවුරු කරගැනීමේ දී අනාවරණයවී ඇති අතර ඔවුන් හොඳින් අධ්‍යාපනය ලද, පරිගණක තාක්ෂණය සම්බන්ධයෙන් මනා දැනුමක් තිබෙන වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් වන අතර ඔවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බවයි අනාවරණය වී තිබෙන්නේ.
කිසිදු හේතුවක් මත පිටස්තර පුද්ගලයන් වෙත බැංකු ගිණුම් අංකය, මුරපදය හෝ OTP කේතය කිසිම අයුරකින් ලබා නොදෙන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.