වත්තල සිංහ සමාජයේ මූලිකත්වයෙන් රු. ලක්ෂ 100ක වෛද්‍ය උපකරණ ...
කොවිඩ් වෛරසයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය වෙත අවශ්‍ය අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලීන් ඉදිරිපත්වෙමින් පවතින මොහොතක වත්තල සිංහ සමාජයේ මැදිහත්වීමෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ශ්‍රී ලංකන් සිංහ සමාජය, ඔස්ට්‍රේලියාවේ ද ඩොට් චැරිටි පදනම, ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ශ්‍රී ලංකන් ෆ්‍රෙන්ඩ්ස් සංවිධානය සහ රත්නපුර ආදරණීය අපි ෆේස්බුක් සමූහය එක්ව රුපියල් ලක්ෂ 100ක් වටිනා AirVo2 වර්ගයේ හයිෆ්ලෝ මැෂින් 06ක් සහ තවත් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු කෙරිණ.
කොවිඩ් ආසාදිත ශ්වසන අපහසුතා පවතින රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට අවශ්‍ය ජංගම හයිෆ්ලෝ යන්ත්‍ර 06ක් සහිතව සිදුකළ මෙම ප්‍රදානය හමුදා රෝහල, බිබිල මූලික රෝහල, බලංගොඩ මූලික රෝහල, කලුතර මහ රෝහල, රත්නපුර මහ රෝහල සහ අයිඩීඑච් රෝහල වෙත ලබාදීමට කටයුතු කරන ලදි.
මෙම ප්‍රදානය සදහා සිංහාධිපති රාජරත්නම් රාජ්කුමාර්, පලමුවන උපසිංහාධිපතිනි වෛද්‍ය අනෝමා විජේසිංහ, දෙවැනි සිංහාධිපති ක්ලැසිඩස් පීටර්, හිටපු සිංහාධිපති ලක්ෂ්මන් විජේසිංහ යන මහත්ම මහත්මීන් එක්වූ අතර හමුදා රෝහල වෙනුවෙන් වෛද්‍ය සංජීව දොඩංගොඩ, බිබිල රෝහල වෙනුවෙන් වෛද්‍ය ජී.ඩී.එන් සමරුතිලක, බලංගොඩ රෝහල වෙනුවෙන් ඖෂධවේදී ඉන්දික කුලරත්න, කලුතර රෝහල වෙනුවෙන් වෛද්‍ය ගනජ එම් සමරජීව, රත්නපුර රෝහල වෙනුවෙන් වෛද්‍ය මුදිත් කරුණාතිලක සහ අයිඩීඑච් රෝහල වෙනුවෙන් වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය යන මහත්ම මහත්මීන් එක්වුහ.