බණ්ඩාරගම වෙඩිල්ලෙන් එලොව ගියේ මදූෂ් එක්ක අල්ල ගත්තු හිටපු බන්ධනාගාර නිලධාරියද?
බණ්ඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේ තුන්බෝධිය හන්දිය අසල අද (21) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් විසින් ටී-56 ගිනි අවියකින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ලලිත් කුමාර කෝදාගොඩ නමැති පුද්ගලයෙකු බවත්, ඔහු පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ් සමඟ විදෙස් රටකදී අත්අඩංගුවට පත් බන්ධනාගාර නිලධාරියෙකු බවට සැකකරන බවත් පොලිසිය සඳහන් කරයි.
වෙඩි ප්‍රහාරයෙන් පසු තුවක්කුකරුවන් පානදුර දෙසට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා පානදුර සිට බණ්ඩාරගම දෙසට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී, බොල්ගොඩ පාලම පසුකරනවාත් සමඟ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලින් හෙළි වී ඇත.
මෝටර් රථය ආසන්නයේ ටී-56 උණ්ඩ 25කට අධික ප්‍රමාණයක් බිම වැටී තිබූ බවද පොලිසිය සඳහන් කරයි. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් පරීක්ෂණ සිදුකරන ලද අතර, විශේෂ කාර්ය බළකා (STF) සෙබළුන් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා කැඳවා තිබිණි.
වෙඩි ප්‍රහාරයත් සමඟ පානදුර - රත්නපුර මාර්ගයේ බොල්ගොඩ පාලම ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇති වූ අතර, රථවාහන පොලිස් නිලධාරීන් විසින් එය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනු ලැබීය.