රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකුවලින් පාරිභෝගිකයන්ට නරක ආරංචියක් - කොටස්වලටත් අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පදනම් ඒකක 100කින් එකවරම ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟ, මෙරට රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු රැසක්ම සිය පොලී අනුපාතයන් ඉහළ දමා ඇත.
ඒ අනුව වාණිජ බැංකුවල ස්ථාවර හා ඉතුරුම් තැන්පතු වෙනුවෙන් ගෙවන පොලී අනුපාතයන් මෙන්ම, පාරිභෝගිකයන් වෙත ලබාදෙන ණය සඳහා අයකරන පොලී අනුපාතයන් ද වහාම ක්‍රියාත්මක වන ආකාරයට ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මහ බැංකුවේ මෙම දැඩි මූල්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය නිසා ඉදිරියේදී භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් වන පොලී අනුපාතයන් ද සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවයි.
එබැවින් ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවන්නේ මෙම තත්ත්වය මෙරට කොටස් වෙළෙඳපොළ (CSE) කෙරෙහි යම් අහිතකර බලපෑමක් ඇති කරනු ඇති බවටයි.
ඊට ප්‍රධානතම හේතුව බැංකු තැන්පතු සහ රජයේ සුරකුම්පත් (බිල්පත් හා බැඳුම්කර) සඳහා ඉහළ පොලියක් ලැබෙන විට, ආයෝජකයන් අවදානම වැඩි කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වී, අවදානම අඩු ස්ථාවර තැන්පතු වෙත සිය ප්‍රාග්ධනය යොමු කිරීමට පෙළඹීම බව සඳහන්.