රෝහණ විජේවීරගේ පවුල ගැන ඇසූ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - දයාසිරි අණ්ඩුව සමග පැටලේ
ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ මරණය සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් යොමු කළේය.
එහිදී රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන්ගේ නම් පිළිබඳව විමසීමක් සිදු කළ අතර, ඊට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේය.
එහිදී අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා, "ගරු කථානායකතුමනි, ප්‍රශ්නය අංක 1 පිළිතුර දු දරුවන්ගේ විස්තර, බිරිඳ, ඒ වගේම දියණියන් හතර දෙනයි, වැඩිමහල් පුතා සහ බාල පුතා. පිළිතුර ප්‍රශ්න දෙකේ පිළිතුර 1992. ඉතින් ඔබතුමත් මේ තේරුම් ගන්න ඕනනේ. ඉතින් නම් කියන එක සුදුසු නැහැනේ මේ මන්ත්‍රීතුමා. ඒකනේ මං කිව්වේ, දියණියන් හතර දෙනයි, පුතාලා දෙන්නයි. සදාචාරයක් තියෙනවා නම් ඔබතුමත් ඒක තේරුම් ගන්න ඉතින්."
අනතුරුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යළිත් අදාළ ප්‍රශ්නය යොමු කළේය. "ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අංක ප්‍රශ්නය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන්ගේ නම් කවරේද? ඉතින් නම් ටික දෙන්න පුළුවන්කමක් තියෙනවා."
ඊට පිළිතුරු ලබාදුන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා, "ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමා, මේ මම හිතුවේ ඔබත් පරිණත දේශපාලකයෙක් කියලා. මේක තේරුම් ගන්න බලද්දී මට වැරදිලා තියෙන්නේ. ඔබතුමා තේරුම් ගන්න, මේ විදිහේ ප්‍රශ්නයක් අහනකොට දෙන්න පුළුවන් විදිහක් තියෙනවා. උත්තරය දෙන්න පුළුවන් සමාජයේ උත්තර ලබා ගත යුතු ආකාරයක් තියෙනවා. ඉතින් මට හිතෙන්නේ ඔබතුමා ඒ නම් ගම් ඇහුවාම හිතාගන්නකෝ ඒ දියණියන්ගේ, පුතාලාගේ තියෙන තත්ත්වය. සදාචාරයක් තියෙනවනේ. ප්‍රශ්නයක් අහනකොටත් සදාචාරයක් තියෙන්න ඕනිනේ ඔබතුමාගේ. අනිත් ඔක්කොම විස්තර කිව්වානේ."