දිවයිනේ ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට - පහත්බිම්වල ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් [VIDEO]
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා දිවයිනේ පවතින කාලගුණික තත්ත්වය සහ ගංගා ආශ්රිත ජල මට්ටම් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, පසුගිය පැය 24 තුළ ගාල්ල, මාතර, බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්යම පළාත්වලට මෙන්ම මන්නාරම, යාපනය, මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවලට ද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත.
විශේෂයෙන් ගිං ගඟ, කළු ගඟ සහ කැලණි ගඟ ආශ්රිත ප්රදේශවලට මිලිමීටර් 125 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී තිබේ.
ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට
පසුගිය පැය 24 තුළ ලැබුණු වර්ෂාවත් සමඟ ප්රධාන ගංගා කිහිපයක ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
මාතර සහ ඒ අවට ප්රදේශවල ජල මට්ටම් තවදුරටත් ක්රමයෙන් ඉහළ යා හැකි බවට අපේක්ෂා කෙරේ. ගිං ගඟේ බද්දේගම ප්රදේශය ආශ්රිතව ද ජල මට්ටම් තවදුරටත් සුළු වශයෙන් ඉහළ ගොස් සුළු ගංවතුර තත්ත්වයකට ආසන්න විය හැකි නමුත්, එය මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වන බවක් මේ වන විට පෙන්නුම් නොකරන බව වාර්තාවේ දැක්වේ.
කළු ගඟේ රත්නපුර සහ මිල්ලකන්ද ප්රදේශවල ජල මට්ටම් ඉහළ යෑමත් සමඟ පහළ ප්රදේශවල ද ජල මට්ටම් සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ.
රත්නපුර, මිල්ලකන්ද සහ කුඩා ගඟ ආශ්රිතව සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර, රත්නපුර ප්රදේශයේ ජල මට්ටම මේ වන විට ක්රමයෙන් අඩුවෙමින් පවතී.
කෙසේ වෙතත්, ඉදිරියේදී කළු ගඟේ පහළ ප්රදේශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි නමුත්, පවතින තත්ත්වය අනුව එය මහා ගංවතුරක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.
පැයට කිලෝමීටර් 140ක චණ්ඩ සුළං සහ මීටර් 4ක් උස දැවැන්ත රළ- බෙංගාල බොක්කේ දැවැන්ත අනතුර ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්
කැලණි ගඟේ ජල මට්ටම් අඩුවෙයි
කැලණි ගඟේ හංවැල්ල, ග්ලෙන්කෝස් සහ අවිස්සාවේල්ල ප්රදේශවල මෙන්ම ඉහළ ප්රදේශවල ද ජල මට්ටම් මේ වන විට ක්රමයෙන් අඩුවෙමින් පවතී.
කැලණි ගඟේ පහළ ප්රදේශවල ජල මට්ටම් සුළු වශයෙන් ඉහළ යා හැකි නමුත්, හංවැල්ල සහ ඊට පහළ ප්රදේශ තවමත් සුළු ගංවතුර මට්ටමට වඩා පහළින් පවතින බව වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, අත්තනගලු ඔයේ දූනමලේ ප්රදේශයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමේ පවතී.
එහි ජල මට්ටම ඉහළ යෑමේ වේගය මේ වන විට අඩු වී ඇති අතර, ඉදිරියේදී එය අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, අත්තනගලු ඔයේ පහළ ප්රදේශවල, විශේෂයෙන් ජාඇල, කටාන සහ වත්තල යන ප්රදේශවල පහත්බිම්වලට තවදුරටත් ජලය ඇතුළු වීමේ හැකියාව පවතී.
පහත්බිම්වල ජනතාවට විශේෂ දැනුම්දීමක්
කැලණි ගඟේ පහළ ප්රදේශ, අත්තනගලු ඔයේ පහළ ප්රදේශ, නිල්වලා ගඟේ පහළ ප්රදේශ සහ ගිං ගඟේ පහළ ප්රදේශවල පදිංචිකරුවන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මීට අමතරව, මහ ඔයේ බඩල්ගම සහ ඊට පහළ ප්රදේශවල ජල මට්ටම් තවදුරටත් සුළු වශයෙන් ඉහළ යා හැකි බව ද සඳහන් වේ.
අනෙකුත් ප්රදේශ රැසක ගංගා ජල මට්ටම් ඊයේ රාත්රියෙන් පසු අඩුවෙමින් පවතී.
ජලාශවලින් තවදුරටත් ජලය මුදාහැරේ
දැදුරු ඔයේ වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින අතර, ඊයේ රාත්රියේදී තත්පරයට ඝන අඩි 15,700කට ආසන්න ජල ප්රමාණයක් මුදාහැරීමට සිදුව තිබේ.
ඒ හේතුවෙන් දැදුරු ඔයේ පහළ ප්රදේශවල ජල මට්ටම් ඉහළ මට්ටමක පවතී.
එහෙත්, මේ වන විට පවතින තත්ත්වය අනුව ජල මට්ටම් තවදුරටත් විශාල වශයෙන් ඉහළ ගොස් මහා ගංවතුර තත්ත්වයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.
රාජාංගනය ජලාශයෙන් මුදාහරින ජල ප්රමාණය අද උදෑසන වන විට තත්පරයට ඝන අඩි 5,000කට ආසන්න ප්රමාණයකින් අඩු කර තිබේ.
ඒ අනුව අදාළ ගංගාවේ ජල මට්ටම් ද අඩුවිය හැකි බව සඳහන් වේ.
කලා ඔය සහ මී ඔය ආශ්රිතව ද ජල මට්ටම් පිළිබඳ අවධානය යොමු කළ යුතුය.
ඉඟිනිමිටිය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 3,000කට ආසන්න ජල ප්රමාණයක් ද, තබ්බෝව ජලාශයෙන් තත්පරයට ඝන අඩි 4,400කට ආසන්න ජල ප්රමාණයක් ද මුදාහැරෙමින් පවතී.
මේ හේතුවෙන් මී ඔයේ පහළ ප්රදේශවල ජල මට්ටම් ඉහළ මට්ටමක පවතින අතර, එම මට්ටම් වරින් වර වෙනස් විය හැකි බව ද වාර්තාවේ සඳහන් වේ.
ප්රධාන හා මධ්යම ජලාශ 30කට ආසන්න සංඛ්යාවක් වාන් දමයි
අද දිනයේදී ද වර්ෂාපතනය අපේක්ෂා කරන අතර, ප්රධාන සහ මධ්යම ප්රමාණයේ ජලාශ 30කට ආසන්න සංඛ්යාවක් මේ වන විට වාන් දමමින් පවතී.
එම ජලාශවල සමස්ත ධාරිතාවෙන් සියයට 43කට ආසන්න ප්රමාණයක් මේ වන විට ජලයෙන් පිරී ඇති බව ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කරයි.
වියළි කලාපයේ බොහෝ ප්රදේශවලට ලැබෙන වර්ෂා ජලය තවදුරටත් වැව්වලට එක්රැස් වන බැවින්, එම ප්රදේශවල ගංගා පිටාර ගැලීමෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම අඩු බව ද ඔහු පෙන්වා දෙයි.
ක්ෂණික ගංවතුර තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් සිටින්න
මේ දිනවල ලැබෙන වර්ෂාපතනය ඇතැම් ප්රදේශවලට තද සුළං සමඟ කෙටි කාලයක් තුළ ලැබෙන බැවින්, ප්රාදේශීය වශයෙන් පහත්බිම් සහ මාර්ග ක්ෂණිකව ජලයෙන් යටවීමේ හැකියාව පවතී.
එබැවින් මාර්ග භාවිත කරන ජනතාව මෙන්ම පහත්බිම් ආසන්නයේ පදිංචිකරුවන් ද පවතින කාලගුණික තත්ත්වය සහ ජල මට්ටම් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.