පොලිසියේ 4500කට හදිසියේම කරන්න යන දේ මෙන්න..
අනතුරුවලට ලක්ව සහ ස්වාභාවික අසනීපවලට ලක්ව සිටින ආබාධිත නිලධාරීන් හාරදහස් පන්සියයක් වෛද්‍ය පරීක්ෂණවලට යොමුකර විශ්‍රාම ගැන්වීම සඳහා පොලිස් මූලස්ථානයේ අවධානය යොමුවී ඇත.
යුද්ධයේදී අනතුරුවලට ලක්වූ, රාජකාරි අතරතුර දී අනතුරට ලක්වූ, සහ විවිධ රෝගී තත්ත්වයන් හේතුවෙන් අසනීපවලට ලක්ව සිටින නිලධාරීන් මෙලෙස විශ්‍රාම ගැන්වීමට හෝ සැහැල්ලු රාජකාරිවලට යොමුකිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.
කෙසේ වෙතත් එම උත්සාහයට පොලිස් නිලධාරීන් රැසකගෙන්ම විරෝධය මතුව ඇත්තේ නියමිත වයසට පෙර විශ්‍රාම ගැන්වීම නිසා ලබාගෙන ඇති බැංකු හා නිවාස ණය, වාහන ලීසිං ආදී ගෙවීමට තමන්ට නොහැකි වන බව කියමිනි.
මේ හේතුවෙන් සිය ආර්ථිකය හා ජීවනෝපාය අඩපණ වන බවද එම නිලධාරීහු පවසති.
අසනීප තත්වයේ පසුවන පොලිස් නිලධාරීන් කඩිනමින් විශ්‍රාම ගැන්වීමට හෝ සැහැල්ලු රාජකාරි සඳහා වෛද්‍ය පරීක්ෂණ මණ්ඩල වෙත යොමුකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ පසුගිය ජූලි 21 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා පැවති සාකච්ඡාවේදීය.
මෙහි ආරම්භය වශයෙන් බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස, අනුරාධපුර හා අම්පාර කොට්ඨාසවල එවැනි නිලධාරීන් වෛද්‍ය පරීක්ෂණ මණ්ඩල වෙත යොමුකර ඇති අතර සෙසු සියලුම කොට්ඨාසවලද මෙම ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
එවැනි අසනීප තත්ත්වවලින් පෙළෙන නිලධාරීන් ඒ සඳහා වන ආකෘති පත්‍රය සම්පූර්ණ කර කොට්ඨාස භාර පොලිස් අධිකාරිගේ අත්සන ද සහිතව වෛද්‍ය වාර්තා, සායනික වෛද්‍ය නිරීක්ෂණ පත්‍ර, පරීක්ෂණ හා සායනික ප්‍රතිඵලද සමගින් මාස තුනක කාලයක් ඇතුළත පොලිස් මූලස්ථානය වෙත යොමුකළ යුතුව ඇතැයි පොලිස් පරිපාලන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වාම දැනුම් දී ඇත.
ඒ ඒ අයැදුම්පත්‍ර ඔවුන් සේවය කරන පොලිස් කොට්ඨාය අයත් පළාතේ වර්ණයෙන් යුතුව සකස් කළ යුතුව ඇත. මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නන්දන මුණසිංහගෙන් අරුණ, කළ විමසුමකදී කියා සිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින සැබෑ ආබාධිත නිලධාරීන් හඳුනාගැනීම හා ඔවුන් වෙනුවෙන් සහනයක් ලබාදීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබෙන බවය.
යුද්ධයේදී ආබාධිත වූ නිලධාරින්, රාජකාරි සඳහා පැමිණීමේදී හෝ පිටවයාමේදී අනතුරුවලට ලක්ව සිටින නිලධාරීන්, වැටලීම් හෝ මහජන ආරක්ෂාව රැකීමට ගොස් ආබාධිත වූ නිලධාරින් වශයෙන් කාණ්ඩ වශයෙන් මෙම නිලධාරීන් වෛද්‍ය පරීක්ෂණ මණ්ඩල වෙත යොමු කරන බවද හෙතෙම කීවේය.
මෙමගින් නිශ්චිතවම ආබාධිත තත්ත්වවලින් පෙළෙන නිලධාරින් හඳුනාගන්නා බවත් ආබාධිත නොවී බොරු වෛද්‍ය වාර්තා පෙන්වා සිටින යම් නිලධාරින් වේ නම් ඔවුනව සැහැල්ලු නොවන රාජකාරි සඳහා යොමුකරන බවත් කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනට සිටින හාරදහස් පන්සියයක පමණ ආබාධිත නිලධාරීන්ගෙන් හරි අඩකටත් අඩු සංඛ්‍යාවක්ම සාමාන්‍ය රාජකාරි සඳහා යෙදවිය හැකි බවට නිගමනය කළ හැකි වෙතැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |