ලෝකයක්ම හඬවමින් නික්ම ගිය පුංචි “රයන්” ගැන පියා කියු සංවේදී කතාව !

world gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 06, 2022 04:27 AM GMT
krishani

krishani

Report

මොරොක්කෝවේ නළ ළිං කුහරයකට ඇද වැටී එහි සිරවූ පස් හැවිරිදි දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් ශෝකාන්තයකින් අවසන් වුණා.

ඒ, දරුවා නළ ලිං කුහරය තුළම මියගොස් සිට ඇති බැවින්.

ඉකුත් අගහරුවාදා පස්වරුවේ දරුවා ළිං කුහරය තුළට ඇද වැටුනු අතර ඊයේ(05) පස්වරුව වනතෙක් දින 04 ක් පුරා ඔහු මුදා ගැනීමට මොරොක්කෝ සහන සේවකයින් දැඩි පරිශ්‍රමයක් දරා තිබුණා.

කෙසේවෙතත් එම මෙහෙයුම සාර්ථක වී දරුවා මුදා ගැනීමට සහන සේවකයින් සමත් වුවත්, ඒ වනවිටත් දරුවා මියගොස් සිට ඇති බවයි මොරොක්කෝ රජය නිවේදනය කළේ.

මුදා ගත් සැනින් දරුවා රෝහල්ගත කර ඇතත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව මොරොක්කෝ රජ මාලිගය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

රයන් නම් වන අදාළ දරුවා නළ ලිං කුහරය තුළට ඇදවැටී තිබුණේ සිය පියා සහ මව සමග ඒ ආසන්නයේ රැඳී සිටි අවස්ථාවේදීයි.

දරුවා තමන් දෙදෙනාගේ අවධානයෙන් මොහොතකට මිදුනු සැනින් ළිං කුහරය තුළට ඇදවැටී ඇති බවයි මව්පියන් මාධ්‍ය වෙත පවසා තිබුණේ.

මීටර් 45 කට වඩා ගැඹුරු පතුලක් ඇති එම නළ ලිං කුහරයේ මීටර් 32 ක් පමණ ගැඹුරේදී දරුවා සිරවී තිබුණා.

දරුවා නළ ලිං කුහරය තුලට ඇදවැටී ඇති බව මව්පියන් අනාවරණ කර ගෙන තිබුණේ ඔහුගේ හැඩීම නළ ලිං කුහරය තුළින් ඇසීමත් සමගයි.

සිද්ධිය පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව බදාදා උදෑසන සිට ආරම්භ වූ ජීවිතාරක්ෂක මෙහෙයුම පැය 24 පුරා ක්‍රියාත්මක වුණා.

ඒ සඳහා නළ ලිං කුහරයට ආසන්නයේ පොළව මට්ටමේ සිට ගැඹුරට වලක් සාදා ඒ ඔස්සේ දරුවා සිටින ස්ථානයට ලගා වීම සහන කණ්ඩායම්වල අරමුණ වුණා.

ලිං කුහරයේ ගැඹුරු භූ තලය අවට නායයාමේ අවධානමට මතුවීම හා ගල් මතුවිම හේතුවෙන් සහන මෙහෙයුම් දුෂ්කර වූ බවයි සහන සේවකයින් පැවසුවේ.

මෙහෙයුම අතරතුර දරුවා සිරවී සිටි ළිං කුහරය තුළට ඔක්සිජන් හා ජලය මෙන්ම ආහාර ද කඹයක් මගින් යොමු කිරීමටයි සහන සේවකයින් පියවර ගෙන තිබුණේ.

එම කඹයේ සවිකර තිබූ කැමරාවකින් දරුවාගේ තත්ත්වය නිරීක්ෂණය කර තිබුණා.

කෙසේවෙතත් දරුවාගේ පියා විටින් විට විදෙස් මාධ්‍යයට පවසා තිබුණේ අවස්ථා කිහිපයකදීම කුහරය තුළට යොමු කළ ජලය දරුවා විසින් පානය කරන අයුරු කැමරාවෙන් නිරීක්ෂණය වූ බවයි.

කෙසේවෙතත් 03 වන දිනය වනවිට දරුවා සිහිමූර්ජා වී සිටින අයුරු නිරීක්ෂණය වී ඇති අතර ඔහුගේ හිස ප්‍රදේශයට සුලු තුවාල සිදුවී ඇති බව ද නිරීක්ෂණය වී තිබෙනවා.

රයන් මුදා ගන්නා තෙක් විශාල පිරිසක් නළ ලිං කුහරය ආසන්නයේ එක්රැස්වි සිටියා.

එසේම ලොව පුරා තවත් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය පළ කරමින් සිය අදහස් එක් කර තිබුණා.

කෙසේවෙතත් මහත් පරිශ්‍රමයක් දරා දරුවා මුදා ගැනුණ ද එතෙක් ඔහු ජීවත්ව නොසිටි බවයි සහන සේවකයින් දැඩි ශෝකයෙන් යුතුව විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ. .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now