බන්දුලගෙන් අලුත් සහන මල්ලක් ! යෝගට් වලටත් සහනයක් ලැබෙයි ද ? (VIDEO)

gagana news today trending news ssri lanka sinhala news Mrs.Bandula Gunawardana
By krishani Feb 06, 2022 01:02 AM GMT
krishani

krishani

Report

පවතින ඩොලර් හිඟය හමුවේ වරායේ සිරවී ඇති බහාලුම්, නිදහස් කර ගැනීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කොළඹ ඊයේ(05) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් එම බහාලුම් කොටස් වශයෙන් නිදහස් කර ගැනීමට සැලසුම් කර ඇති බවයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 1,800 ක් මෙන්ම පොත්පත්, ලිපිද්‍රව්‍ය සහ කඩදාසි අඩංගු බහාලුම් 8 ක් වරායේ සිරවී ඇත.

එමෙන්ම දිවයින පුරා පිහිටි සතොස වෙළඳසැල් තුලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු රුපියල් 998 ක සහන බඩු මල්ලක් හඳුන්වා දීමද ඊයේ සිදු කෙරුණා.

එමෙන්ම වෙළඳපොලේ දියර කිරි ලීටරයක මිල මේ වන විට රුපියල් 280 සිට රුපියල් 320 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මිල්කෝ සමාගමේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ කිරි ගොවීන්ගෙන් ලැබෙන දියර කිරි ප්‍රමාණය අඩු වීම මෙම මිල වැඩි වීමට හේතු වී ඇති බවයි.

දෛනික දියර කිරි අවශ්‍යතාවය ලීටර ලක්ෂ 4 ක් පමණ වුවද කිරි ගොවීන්ගෙන් ලැබෙන කිරි ධාරිතාවය ලීටර එක් ලක්ෂ 30,000ක් පමණක් බවද මිල්කෝ සමාගම සඳහන් කළා.

මෙවන් පසුබිමක දියර කිරි ලීටරයක් සඳහා ලබා දෙන මිල ඉහළ නංවන ලෙස දේශීය කිරි ගොවීන් ඉල්ලා සිටිනවා.

දියර කිරි ලීටරයක් සඳහා කිරි ගොවීන්ට ලබා දෙන මුදල පෙබරවාරි පළමු වනදා සිට රුපියල් 5 කින් ඉහළ නංවන බව මිල්කෝ සමාගමේ හිටපු සභාපතිවරයා ප්‍රකාශ කලද නව සභාපතිවරයෙකු පත් කිරීමත් සමග එය ක්‍රියාත්මක වුයේ නැහැ.

ඒ සම්බන්ධයෙන් කල විමසීමකදී නව සභාපතිවරයා කියා සිටියේ කිරි ගොවීන්ට ලබා දෙන මුදල ඉහළ නැංවීමට ඇති හැකියාව තවදුරටත් අධ්‍යයනය කල යුතු බවයි.

කෙසේ වෙතත් සමාගමේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ කිරි ලීටරයක් සඳහා ගොවීන්ට ලබා දෙන මුදල රුපියල් 5 කින් ඉහළ නැංවීමට තම කළමනාකාරීත්වය යටතේ හැකියාව පැවති බවයි.

මෙවන් පසුබිමක අමුද්‍රව්‍ය මිල ඉහළ ගියහොත් ඉදිරියේදී යෝගට් මිල රුපියල් 5 ත් 10 ත් අතර මුදලකින් ඉහළ දැමීමට සිදුවන බව දේශීය කිරි ආහාර නිෂ්පාදන සංගමය පවසනවා.

එහි උප සභාපති මංජුල නිශාන්ත කියා සිටියේ යෝගට් ඇතුලු කිරි ආහාර නිෂ්පාදනය සඳහා ද දියර කිරි හිඟ වීමේ තත්වයක් හටගෙන ඇති බවයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now