ඉරානයේ කාලය අවසන් - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා ඇණහිට ඇති බැවින් ඉරානයේ කාලය ගෙවී යමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
සිය 'ටෘත්' (Truth Social) ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉරානය සාම සාකච්ඡා සඳහා ඉක්මන් කළ යුතු බවත්, එසේ නොමැති වන්නේ නම් ඔවුන්ගේ කිසිවක් ඉතිරි නොවනු ඇති බවත්ය.
මින් පෙරද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සඳහන් කර තිබුණේ ඉරානය ගිවිසුමකට එකඟ නොවන්නේ නම් ඔවුන්ගේ සමස්ත ශිෂ්ටාචාරයම මිය යනු ඇති බවය. ඉරානය සහ එක්සත් ජනපදය අතර සාම සාකච්ඡා පාකිස්තානයේ මැදිහත්වීමෙන් පැවැත්වුණු නමුත් දෙරටේ දැඩි කොන්දේසි හේතුවෙන් එම සාකච්ඡා මෙතෙක් අවසන් එකඟතාවයකින් තොරව බිඳ වැටී ඇත.
දෙරට අතර පැවැති සාකච්ඡාවලින් පසුව ඉරානය විසින් අමෙරිකාවට යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර එම යෝජනා තුළ යුද හානි සඳහා වන්දි ගෙවීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරාන ස්වෛරීභාවය අවධාරණය කිරීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් වූ නමුත් එක්සත් ජනපදය ඊට එකඟ නොවීය.
එමෙන්ම එක්සත් ජනපදය විසින්ද ඉරානයට කොන්දේසි කිහිපයක් නියම කළ අතර, ඉරානය එක් න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පමණක් ක්‍රියාත්මකව තබා ගත යුතු බවටත් එහි අධික ලෙස පොහොසත් යුරේනියම් තොගය එක්සත් ජනපදයට මාරු කළ යුතු බවටත් එහිදී ඉල්ලා තිබුණි.
කෙසේ නමුත් දෙපාර්ශවය විසින්ම එකිනෙකාගේ යෝජනා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කලාපීය නොසන්සුන්තාවය තවදුරටත් දැඩි වී තිබේ.