රනිල් දුන් පොදු සමාවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලශූන්‍ය කරයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නඩත්තු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් සිරදඬුවම් නියම වී සිටි පුද්ගලයෙකුට ලබාදුන් පොදු සමාව නීතිය ඉදිරියේ බලශූන්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව අදාළ පුද්ගලයාට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළ සිරදඬුවම යළි ක්‍රියාත්මක කිරීමට නීතියට අනුකූලව අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත.

මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් නමැති මෙම පුද්ගලයාට සිය බිරිඳට නඩත්තු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මාස 29ක සිරදඬුවමක් නියම වී තිබිණි.

ඔහුට ලබාදුන් පොදු සමාව අභියෝගයට ලක් කරමින් ඔහුගේ බිරිඳ වන අහමඩ් ෆාමිල්ලා බේගම් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබේ.

නවුෆර් මවුලවි සහ සාදික්ට වසර 12 බැගින් සිරදඬුවම් - වනාතවිල්ලුව අවි සහ පුපුරණ ද්‍රව්‍ය නඩුවේ තීන්දුව දෙයි

නවුෆර් මවුලවි සහ සාදික්ට වසර 12 බැගින් සිරදඬුවම් - වනාතවිල්ලුව අවි සහ පුපුරණ ද්‍රව්‍ය නඩුවේ තීන්දුව දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ලබාදුන් තීන්දුවට විනිසුරුවරුන් වන ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරු එකඟතාව පළ කර ඇත.

පෙත්සම්කාරිය සඳහන් කර ඇත්තේ, 2005 අප්‍රේල් 23 වැනිදා මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය යටතේ විත්තිකරු සමඟ විවාහ වූ බවයි.

එම විවාහයෙන් දරුවන් තිදෙනෙකු උපත ලබා ඇති බවත් ඇය පවසා තිබේ. විවාහය අවසන් කිරීමෙන් පසුව, 2022 ජූනි 11 වැනිදා නැගෙනහිර කොළඹ ක්වාසි අධිකරණය විසින් නඩත්තු මුදල් ලෙස රුපියල් 60,000ක් ගෙවන ලෙස නියෝග කර තිබිණි.

එහෙත් එම මුදල් දිගින් දිගටම ගෙවීම පැහැර හැරීම හේතුවෙන් රුපියල් 1,740,000ක හිඟ නඩත්තු මුදලක් ගෙවන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුව නඩත්තු මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වූ නසීම්ට මාස 29ක සිරදඬුවමක් නියම කර ඇත.

2024 සැප්තැම්බර් 12 වැනිදා සිරකරුවන්ගේ දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව යටතේ ලබාදුන් පොදු සමාවක් මත ඔහු නිදහස් කර තිබේ.

ඒ වන විට නියම වූ මාස 29ක සිරදඬුවමෙන් ඔහු ගත කර තිබුණේ මාස දෙකක පමණ කාලයක් බව තීන්දුවේ සඳහන් වේ.

හැටන්හි බස් රථ දෙකක් මතට පස් කන්දක් කඩා වැටෙයි

හැටන්හි බස් රථ දෙකක් මතට පස් කන්දක් කඩා වැටෙයි

මෙම සමාව ලබාදීම අත්තනෝමතික හා අසාධාරණ ක්‍රියාවක් බවත්, ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත් පෙත්සම්කාරිය පෙන්වා දී තිබේ.

සමාව ලබාදීමට පෙර තමන්ගෙන් කරුණු විමසීමක් සිදු නොකළ බවට ද ඇය චෝදනා කර ඇත. කෙසේ වෙතත්, නිදහස ලැබූ පුද්ගලයා අධිකරණය හමුවේ පවසා ඇත්තේ තමන්ට ලබාදුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1)(අ) ව්‍යවස්ථාව යටතේ වූ සමාවක් නොව, 34(1)(ඈ) ව්‍යවස්ථාව යටතේ සිදුකළ දඬුවම් ලිහිල් කිරීමක් බවයි.

එහෙත් නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් සිරගතව සිටි තවත් පුද්ගලයෙකු වන මොහොමඩ් ෆයිසාල් මොහොමඩ් නව්ෂාඩ් නිදහස් නොකර, ඔහුගේ සිරදඬුවම සතියකින් පමණක් අඩු කර තිබූ බව ද තීන්දුවේ සඳහන් වේ.

මෙම සිද්ධීන් සැලකිල්ලට ගනිමින් සමාව ලබාදීමේ ක්‍රියාවලිය තුළ අසමානතාවක් පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර තිබේ.

ඒ අනුව අදාළ පුද්ගලයා නිදහස් කිරීමට පියවර ගැනීමේදී හිටපු ජනාධිපතිවරයා, අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සමානාත්මතාවය සහ නීතියේ සමාන ආරක්ෂාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව විනිසුරුවරුන්ගේ තීන්දුවේ සඳහන් වේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි