රටේ පෙට්රල් හා ඩීසල් මිල අඩුවෙයිද? ලංකාවේ ඉන්ධන මිල ගැන චෝදනා
සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්ය ප්රකාශක ආනන්ද පාලිත මහතා චෝදනා කරන්නේ ගොඩබාන පිරිවැයට වඩා රුපියල් 170කට අධික බද්දක් සහ අධික ලාභාංශයක් රඳවා ගනිමින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් අලෙවි කර ජනතාව අසාධාරණ ලෙස සූරාකෑමේ දැවැන්ත ක්රියාවලියක් ක්රියාත්මක වන බවයි.
ලංකා අයි.ඕ.සී. (LIOC), සිනොපෙක් (Sinopec), ආර්.එම්. පාක්ස් (RM Parks) මෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) සතු ඉන්ධන පිරවුම්හල්වල කිසිදු හිඟයකින් තොරව ඔක්ටේන් 95 පෙට්රල් පමණක් බෙදාහරින්නේ, ආණ්ඩුවට ලැබෙන දැවැන්ත බදු ආදායම සහ සමාගම් ලබන අසීමිත ලාභය හේතුවෙන් බව කොළඹදී විශේෂ මාධ්ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් තුළ සාමාන්ය පාරිභෝගිකයාට අවශ්ය ඔක්ටේන් 92 පෙට්රල් නොමැති බව පවසමින්, සිපෙට්කෝ පිරවුම්හල් සොයා සැතපුම් ගණනක් ධාවනය කිරීමට නොහැකි ත්රිරෝද රථ සහ යතුරුපැදිකරුවන්ට පවා වැඩි මිලැති ඔක්ටේන් 95 පෙට්රල් ලබා ගැනීමට බලහත්කාරයෙන් බලකරන තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ සිටියදී විදේශ සමාගම් සාධාරණ මිලකට ඉන්ධන අලෙවි නොකරන්නේ නම් නව මිල සූත්රයක් ගෙන එන බවටත්, නව පිරවුම්හල් 75ක් ස්ථාපිත කරන බවටත් දුන් ප්රතිඥා සිහිපත් කළ ආනන්ද පාලිත මහතා, අද වන විට පාලනාධිකාරිය ඉන්ධන පෝලිම් පාලනය කිරීමේ එකම විසඳුම ලෙස තෝරාගෙන ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම පමණක් බවට චෝදනා කළේය.
ආණ්ඩුව බලයට පත්වූයේ විදේශීය ඉන්ධන සමාගම්වලට රිසි සේ කටයුතු කිරීමට ඉඩ දෙමින් ඒවා තර කිරීමටද, නැතහොත් මේ රටේ පීඩිත ජනතාව සුරැකීමටද යන්න වහා රටට හෙළි කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.