බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං
2026 ඔක්තෝබර් 26 වැනිදා පස්වරු 4.00ට නිකුත් කරන ලදී. බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුව දක්වා වර්ධනය වී තිබේ.
එම පද්ධතිය බටහිර දෙසට ගමන් කර ඇති අතර, 2026 ඔක්තෝබර් 26 වැනිදා පෙරවරු 8.30 වන විට උතුරු අක්ෂාංශ 15.4 සහ නැගෙනහිර දේශාංශ 88.5 ආසන්නයේ, කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 1,100ක් පමණ ඊසාන දෙසින් කේන්ද්රගතව පැවති බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ. මෙම පද්ධතිය බොහෝ දුරට බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව, ඔක්තෝබර් 26 වැනිදා පස්වරු 5.30 වන විට බටහිර මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේදී එය තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇත.
ඉන් අනතුරුව තවදුරටත් වර්ධනය වන මෙම පද්ධතිය ඔක්තෝබර් 27 වැනිදා වන විට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වී, ඔක්තෝබර් 28 වැනිදා පෙරවරු 11.30ට පමණ ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශය හරහා වෙරළට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දිවයිනේ ප්රදේශ රැසකට වැසි මෙම සුළි කුණාටු පද්ධතියෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, එම පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් නිරිතදිග ප්රදේශවල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.
ඒ අනුව, උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්යම සහ උතුරු මැද පළාත්වලත්, ත්රිකුණාමලය දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති වීමේ හැකියාව පවතී.
දිවයිනේ සෙසු ප්රදේශවල ද පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ. ප්රදේශ කිහිපයකට පැ.කි.මී. 40–50ක තද සුළං මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇති විය හැකිය.
ජනතාවට විශේෂ දැනුම්දීමක් ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
විශේෂයෙන්ම තද වැසි සහ තද සුළං ඇති වන අවස්ථාවලදී ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස දැනුම් දෙනු ලැබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට වසා තැබීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කරයි