සියලු දෙනාටම මේක අවදානමක් ගැටුම් නවත්තන්න - ලෝක සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකාව, මැදපෙරදිග සහ බටහිර ආසියානු කලාපය තුළ දැඩිව උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරයි. විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,මෙම තත්ත්වය සෘජුවම සිවිල් ජනතාවගේ ජීවිතවලට සහ යටිතල පහසුකම් වලට හානියක් එල්ල කරන බවයි.
ශ්‍රී ලංකාව, සිවිල් වැසියන් සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් දැඩිව ප්රතිකේෂ්පකරන අතර, සියලුම පාර්ශවයන් ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගකීමක් පවතින බව අවධාරණය කරයි.
වර්තමානයේ පවතින මෙම දරුණු මානුෂීය අර්බුදය සහ එම තත්ත්වය ගෝලීය ආර්ථිකය සහ ජාත්‍යන්තර වෙළඳාමට ඇති සෘජු බලපෑම ශ්‍රී ලංකාව ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද නිවේදනයේ දැක්වෙයි. ශ්‍රී ලංකාව ලොව පුරා සියලු රටවල් සඳහා අහිතකර බලපෑම් ඇති කරන මෙම නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳව අවධානයෙන්බැලිය යුතු බව පෙන්වා දෙයි.
ඕනෑම රාජ්‍යයක භූමියේ අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහි බල භාවිතය තහනම් කරන එක්සත් ජාතීන්ගේ මූලධර්ම හා අරමුණුවලට ගරු කිරීමේ වැදගත්කම මෙහිදී යළිත් අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව, සිය ස්වෛරීභාවය සහ භූමියේ අඛණ්ඩතාවය වෙනුවෙන් පෙනී සිටින රටක් ලෙස, කලාපයේ සහ ඉන් ඔබ්බට පවතින තත්ත්වය තවදුරටත් උත්සන්න නොවී, සාමය, ස්ථාවරත්වය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට උපරිම සංයමයෙන් ක්‍රියා කිරීමට, සාකච්ඡා මාර්ගයට වහාම පිවිසීමට, සහ නොසන්සුන්කාරී තත්ත්වය සාමකාමී ලෙස සමනය කිරීමට කැපවෙන මෙන් මෙම ලිපියෙහි වැඩිදුරටත් සඳහන්.