ලංකාවට හතර අතින් එන විනාසය - දැක්කොත් වහාම දැනුම් දෙන්න නැත්තම් ඉදිරියේදී ලොකු අනතුරක් බව දන්වයි
මියන්මාරය මෙන් ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ තෝතැන්නක් බවට පත්වෙමින් සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට තදාසන්න ප්‍රදේශවල පහසුවෙන් විශාල පිරිසකට නවාතැන් ස්ථාන සොයාගත හැකිවීම, පහසුවෙන් වීසා ලබාගැනීමට හැකිවීම, ඊට නිසි තක්සේරුවක් කිරීමේ ක්‍රමවේදයක් නොපැවතීම, ආගමන විගමන නීති ලිහිල්වීම, වේගවත් අන්තර්ජාල සබඳතා පැවැතීම හා යටිතල පහසුකම් පහසුමිලට සපයාගත හැකිවීම ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ට තෝතැන්නක් වීමට ඉවහල් වී ඇති බවට කරුණු ලෙස හෙළිව ඇත.
එමෙන්ම සයිබර් අපරාධකරුවන් කාන්තාවන් වශයෙන් පෙනී සිටිමින් විදෙස් රටවල පුද්ගලයන් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සබඳතා ගොඩනගාගෙන, ඒ ඔස්සේ මුදල් ඩැහැගැනීම මෙන්ම ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු පෙන්වා මුදල් ලබාගෙන මඟහැරයාම් සිදු කරන බව පරිගණන අපරාධ විමර්ශන අංශය දැනුම් දෙයි.
එසේම මෙරට තුළ සිට සයිබර් අපරාධකරුවන් ක්‍රියාත්මකවීම, ලෝකයේ සෙසු රටවල් ලංකාව කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීමට හේතුවක් බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.
එබැවින් පොලීසිය මහජනතාවට දැනුම්දී සිටින්නේ චීන, තායිවාන, වියට්නාමය වැනි රටවල පිරිස් විශාල ලෙස එක් ස්ථානයක සැක කටයුතු ආකාරයෙන් රැඳී සිටින්නේ නම්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට හෝ ළඟම ඇති පොලිසියට දැනුම්දෙන ලෙසයි.
එමෙන්ම ඉකුත් දින තුළදී මෙරට තුළ සයිබර් අපරාධවල නිරතවූ විදෙස් ජාතිකයන් රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත.