සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසක කාලයකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමනායක මහතා විසින් මේ වන විට නිකුත් කර ඇති බව සඳහන්.
දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් රට තුළ පවතින අසාමාන්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
විශේෂයෙන්ම මහජන ජීවිතයට අත්‍යවශ්‍ය වන්නා වූ සැපයුම් සහ සේවා කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම මෙම හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමේ මූලික අරමුණ වී තිබේ.
මේ අතර ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින් හෝ සමූපාකාර සමිතියකින් සපයනු ලබන සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ද යළි දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළු ඉන්ධන බෙදාහැරීම් මෙන්ම සෞඛ්‍ය සේවාවට සහ පොදු ගමනාගමන සේවාවන්ට අදාළ සියලු කටයුතු අත්‍යවශ්‍ය සේවා ලෙස තවදුරටත් ක්‍රියාත්මක වේ.
මෙම පියවර යටතේ ආපදා තත්ත්වය හමුවේ වුවද ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් අඛණ්ඩව ලබා දීමට බලධාරීන්ට හැකියාව ලැබෙනු ඇත.