ඩොලර් නැති ලාංකිකයන්ට මෙන්න සුපිරි අවස්ථාවක්..
සාර්ක් කලාපය(SAARC) තුළ වෙළෙඳාම සහ සංචාරක ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල (INR) 'නම් කරන ලද විදේශ මුදල් ඒකකයක්' ලෙස මෑතකදී පිළිගැනීමත් සමඟ, ලංකා බැංකුව (BOC) එහි චෙන්නායි ශාඛාව සමඟ ඉන්දියානු රුපියල ඔස්සේ ගනුදෙනු කළහැකි පළමු වොස්ට්‍රෝ ගිණුම vostro account විවෘත කර තිබෙනවා.
මෙම නව මුලපිරීමත් සමග, ශ්‍රී ලාංකිකයන්ට දැන් සෘජුවම ඉන්දියානු රුපියල්වලින් වෙළෙඳ ගනුදෙනු සිදු කිරීමට හැකි වී ඇති අතර එමගින් එක්සත් ජනපද ඩොලර් භාවිත කරමින් සිදුකෙරෙන ගනුදෙනු වලදී මතුවන, ඩොලර් හිඟවීමේ ගැටලු මගහරවාගත හැකිය.
දෙරට අතර ආර්ථික සහ වාණිජ හවුල්කාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින් අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට සහාය වීම පිණිස මෙලෙස ඉන්දීය රුපියල ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පිළිගත් මුදල් ඒකකයක් ලෙස නම්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අගෝස්තු මාසයේදී පියවර ගත්තේය.
ඉන්දීය රුපියලට අමතරව ඕස්ට්‍රේලියානු ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර් සහ කැනේඩියානු ඩොලර් ඇතුළු තවත් විදේශීය මුදල් ඒකක 15කටද මහ බැංකුව එම අනුමැතිය ලබාදුන්නේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු රුපියල (INR) ශ්‍රී ලංකාවේ නම් කරන ලද විදේශ මුදල් වර්ගයක් ලෙස වර්ගීකරණය කිරීමට ඉන්දීය සංචිත බැංකුවේ (RBI) අනුමැතිය ඉල්ලා සිටි අතර, මීට සති දෙකකට පෙර, ඉන්දීය පාර්ශ්වය එම අනුමැතිය ලබාදී තිබිණි.
ඉන්දීය ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති ආකාරයට, මෙම අනුමැතියට සමගාමීව, දැන් ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකානු ඩොලර් 10,000 ක් වටිනා ඉන්දියානු රුපියල්(INR) භෞතික ස්වරූපයෙන් සිය සන්තකයේ තබාගැනීමේ හැකියාවද ඇත.
මෙහි ඇති වඩාත්ම විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකිකයන්ට දැන් ඉන්දියානු රුපියල් වෙනත් මුදල් ඒකකයකට පරිවර්තනය කිරීමට හැකිවීමයි.
මෙම පහසුකම සක්‍රීය කිරීම සඳහා ශ්‍රී ලංකා වාණිජ බැංකුවක 'වොස්ට්‍රෝ'(INR vostro) නම් ගිණුම් විශේෂයක් විවෘත කිරීම සඳහා ඉන්දියානු බැංකුවක් සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතුය.
ලංකා බැංකුව ඉහත කී ලෙස ආරම්භ කර ඇත්තේ එම ගිණුම් විශේෂයයි.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින්ද නිවේදනය කර ඇත්තේ දෙරටේ බැංකු දෙකක් අතර නිල වශයෙන් මෙම වොස්ට්‍රෝ ගිණුම් විවෘත කිරීම ආරම්භ කෙරුණු බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |