ලංකාවේ සයිබර් වංචා ජාලයට පොලිසියෙන් දැඩි ප්‍රහාරයක් - විදේශිකයන් දහසකට වැඩියෙන් අත්අඩංගුවට
මෙම වසරේ මේ දක්වා සිදුකළ සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ වැටලීම් 24කදී විදේශිකයින් 1,093 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
‘රටම එකට’ ජාතික මෙහෙයුම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මෙම සංඛ්‍යාලේඛන අනාවරණය කළේය.
ඔහු සඳහන් කළේ 2024 වසරේදී සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ සිදුවීම් 26කදී විදේශිකයින් 573 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ බවයි. 2025 වසරේදී එවැනි සිදුවීම් දෙකකදී විදේශිකයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, මෙම වසරේදී එම සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වසරේ සිදුකළ වැටලීම් 24කදී සයිබර් අපරාධ හා මූල්‍ය වංචා සම්බන්ධයෙන් සැකපිට විදේශිකයින් 1,093 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් විදේශිකයින් ඔවුන්ගේ මව් රටවල් වෙත පිටුවහල් කිරීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවද සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා වැඩිදුරටත් පැවසීය.