එක්ස්ප්‍රස් පර්ල් ගැන රජයට කාදිනල් හිමිගෙන් දැඩි ඉල්ලීමක් – “තවදුරටත් සොයා බලන්න ඕනෑ”
මෙරට බටහිර මුහුදේදී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට සිදුව ඇති හානිය පිළිබඳව රජය තවදුරටත් අවධානය යොමු කර සොයා බැලිය යුතු බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ සම සභාපතිත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති කතෝලික සභාව සමඟ වූ සාකච්ඡාවකදී කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, රජයට පවරාගත් කතෝලික පාසල්වල පවතින පරිපාලන ගැටලු, කතෝලික ධර්මය ඉගැන්වීම සඳහා ගුරු කාර්ය මණ්ඩලයක් සම්බන්ධ ක්‍රමවේදයක් සකස් කිරීම සහ ගුරු සේවයට කතෝලික පූජකවරුන්, සොහොයුරියන් හා පියතුමන්ලා බඳවා ගැනීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි.
එමෙන්ම රජයට පවරාගත් පාසල්වල කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබාගැනීමට අදාළ ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ. සාකච්ඡාවේදී අදහස් දක්වමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා ඇත්තේ වසරකට තෙවරක් කතෝලික සභාව සමඟ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට කතෝලික සභාව වෙනුවෙන් සිය ස්තූතිය පළ කරන බවයි.
කිසිදු භේදයකින් තොරව සෑම සිසුවෙකුටම තම ආගම ඉගෙනීමට අවශ්‍ය අවස්ථාව තහවුරු කිරීම තම අභිලාෂය බවද උන්වහන්සේ සඳහන් කර ඇත. ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කරගැනීමේ අවශ්‍යතාවද කාදිනල් හිමිපාණන් පෙන්වා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.