බස් රථ සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..සියලු බස් හිමියන්ට දැනුම්දීමක්..

Bandula Gunawardane Sri Lanka Politician Sri Lanka Sri Lanka Cabinet
By Aruna Jul 12, 2023 01:10 AM GMT
Aruna

Aruna

Report

මගී බලපත්‍ර රහිතව අවිධිමත් හා අයථා ලෙස ධාවනය කෙරෙන උතුරු,නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල බස් රථවලට විරුද්ධව කටයුතු කිරීමට පොලිසිය,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

උතුරු,නැගෙනහිර සහ උතුරු මැද යන පළාත්වල ඉතා විශාල බස් රථ ප්‍රමාණයක් මගී ප්‍රවාහන බලපත්‍ර රහිතව ධාවනය කෙරෙන බවද ඔහු කියා සිටියා.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

මනම්පිටිය බස් අනතුරට සම්පූර්ණ හේතුව රියැදුරුගේ නොසැලකිලිමත්කම බව අනාවරණයවී ඇති බවද,බස් රථය අනතුරට ලක්වූ ස්ථානය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන් බවද ඇමැතිවරයා කියා සිටියා.

දැනට ලබාදී තිබෙන වාර්තා අනුව අනතුරට ලක්වූ බස් රථය ජාතික ගමනා ගමන කොමිසමෙන් නිසි බලපත්‍රයක් ලබා නොගෙන ධාවනය කර තිබෙන බවද, බස් රථයට නැගෙනහිර පළාත් සභාව විසින් 2018 වසරේදී බලපත්‍රයක් නිකුත් කර තිබෙන බවද ඔහු අවධාරණය කළේය.

ඇමැතිවරයා සඳහන් කළේ, අදාළ බලපත්‍ර හිමියාට 2019 වසරේදී අධිකරණයෙන් රුපියල් දස දහසක දඩ මුදලක් නියම කර තිබෙන බවයි.

මගී ප්‍රවාහන බලපත්‍රයක් රහිතව මගීන් ප්‍රවාහනය කරන්නේ නම් රුපියල් ලක්ෂ පහ දක්වා දඩ නියම කළහැකි පරිදි ජාතික ගමනා ගමන කොමිෂන් සභා පනත සංශෝධනය කර නීතිපතිවරයාට යවා තිබෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියා.