නොදන්වා හොර රහසේම මෙරට අතහැර ගිය විශේෂඥ වෛද්‍යවරුන්ට වැඩ වරදී.

Sri Lanka
By Wayomi Dec 22, 2022 08:59 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය වසර දෙක තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විශේෂඥ වෛද්‍යවරුන් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් සේවය අතහැර විදේශගත වී තිබෙනවා.

ඒ හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බරපතළ තර්ජනයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ යටතේ වෛද්‍යවරයෙකු බිහි කිරීම සඳහා රජය වසරකට විශාල මුදලක් වැය කරන බවයි.

ඒ අනුව ඔවුන් වෙනුවෙන් අනිවාර්ය විදේශ පුහුණුව සඳහා වසරකට වෛද්‍යවරුන් සැළකිය යුතු සංඛ්‍යාවක්, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවලට පිටත් කර හරින අතර, ගුවන් ටිකට් පතේ සිට දීමනා රැසක්ද ඔවුන්ට ලබාදීමට කටයුතු කරනවා.

එහිදී ජීවන වියදම් දීමනාව ලෙස මසකට ස්ටර්ලින් පවුම් 3,000 කට ආසන්න ප්‍රමාණයක් පිරිනමන අතර, වසර දෙකක කාලයක් සඳහා පූර්ණ වැටුප සහිත නිවාඩුද එලෙස විදේශ පුහුණුව සඳහා යනු ලබන වෛද්‍යවරයෙකුට හිමි වෙනවා.

එමෙන්ම එලෙස විදේශ ගතවීමට පෙර ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළඹෙන අතර, එහි කොන්දේසියක් වන්නේ විශේෂඥ පුහුණුවෙන් පසු වසර අටක කාලයක් අනිවාර්යෙන් සේවය කළ යුතු බවයි.

මෙහිදී වෛද්‍යවරයෙකුගේ පත්වීම් ලිපියේද සඳහන් වන්නේ ඔවුන් 1961 අනිවාර්ය සේවා පනතට යටත් බවයි.

කෙසේ වෙත්ත එවැනි තත්වයක් යටතේ නිවාඩු ලබා නොගෙන, නොදන්වා මෙලෙස විදේශගතවීම වෛද්‍ය ආචාර්ය ධර්ම වලට මෙන්ම වෘතියටද අගෞරවයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම වෛද්‍ය ආචාර්ය ධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව කටයුතු කරන මෙවැනි වෛද්‍යවරුන් අසාදු ලේඛනගත කිරීමටත්, ඔවුන්ට හිමි වරප්‍රසාද ලබා නො දීමටත් කටයුතු කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW