දීපාවලී නිවාඩුවේ ගම්බිම් බලා යන ඔබට - විශේෂ බස් රථ සේවාවක් - දැන්ම ආසන වෙන්කරගන්න
මෙවර දීපාවලී උත්සවය නොවැම්බර් 8 වැනිදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ගම්බිම් බලා යන විශාල පිරිසක් අද (06) සිට පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සහ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ වෙත පැමිණෙනු ඇත.
අද (06) සහ හෙට (07) දෙදින තුළ කොළඹ සිට හැටන්, තලවාකැලේ සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ වෙත ධාවනයවන බස් රථවල ආසන විශාල ප්‍රමාණයක් මේ වනවිටත් වෙන්කරගෙන අවසන් බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ආසන වෙන්කිරීමේ සේවාව පවත්වාගෙන යනු ලබන ආයතනය සඳහන් කරයි.
මීට අමතරව යාපනය, වව්නියාව, බදුල්ල, මඩකලපුව සහ අම්පාර වැනි ප්‍රදේශ වෙත ගමන් කරන බස් රථවල ආසන ද මේ වන විට කඩිනමින් වෙන් වෙමින් පවතියි.
එබැවින් උත්සව සමයේ ඇතිවිය හැකි අධික තදබදය මඟහරවා ගනිමින් තම ගමන් කටයුතු පහසුවෙන් සලසා ගැනීම සඳහා 1315.lk හෝ sltbeseat.lk යන වෙබ් අඩවි වෙත පිවිස කල්වේලා ඇතිව ආසන වෙන්කරවා ගන්නා ලෙසයි අදාළ ආයතන මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.