සෝමාවතිය පුදබිමට යන මාර්ගය ජලයෙන් යටවෙයි - රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Report

මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා ඓතිහාසික සෝමාවතිය රජ මහා විහාරයට ගමන් කරන සුංගාවිල - සෝමාවතිය ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් අද (07) උදෑසන 8.30 සිට එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බව පුලස්තිපුර (පොළොන්නරුව) පොලීසිය පැවසීය.

දිග්ගල ප්‍රදේශයේ සිට මාර්ගය අඩි 2කට පමණ ජලයෙන් යටවී ඇති අතර, මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව මෙයට ප්‍රධාන හේතුව වී ඇත.

ඊයේ (06) සවස දළදා පූජාවන් සඳහා සෝමාවතිය විහාරස්ථානයට පැමිණි බැතිමතුන් පිරිසක් මාර්ගය ජලයෙන් යටවීම නිසා අසීරුවට පත්ව ඇත. ඔවුන්ගේ බස්රථයට ආපසු ගෙනයාම සඳහා විහාරස්ථානයට අයත් ට්‍රැක්ටර් රථයක් යොදාගෙන භික්ෂූන් වහන්සේලා කටයුතු කර ඇතැයි වාර්තා වේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පහත් බිම්වලට ගංවතුර අවදානම පවතින බැවින්, සෝමාවතිය පුදබිමට යාම කල් දැමීමට බැතිමතුන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මහවැලි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් ඇති බැවින්, ආපදා කළමනාකරණ ඒකකය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නවතම දැනුම්දීම්වලට අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.