වාරණ නියෝගයක් මත අත්හිටවූ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ බලය සජබයට
අධිකරණ වාරණ නියෝගයක් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත් කරගැනීමේ නිල ඡන්ද විමසීම අද (27) සාර්ථකව පවත්වනු ලැබීය.
එහිදී පොදු විපක්ෂයේ පක්ෂවල පූර්ණ සහයෝගය දිනා ගනිමින්, වැඩි ඡන්ද 02ක් ලබාගෙන සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වීමට සමගි ජන බලවේගය නියෝජනය කළ වින්සන් ප්‍රැන්සිස් මහතා සමත් විය.
මෙම සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගය වෙනුවෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 08ක් පමණි.
මේ අතර සභාවේ උපසභාපති ධුරය වෙනුවෙන් පැවැති තේරීම් ඡන්ද විමසීමේදී පොදු විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තුසිත ලක්මාල් මහතා විශිෂ්ට ජයක් වාර්තා කළේය. ඔහු වැඩි ඡන්ද 11ක බහුතරයකින් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ නව උපසභාපතිවරයා ලෙස තේරී පත් විය.