ලක්ෂ දෙකක දුම්වැටි සමග උප පොලිස් පරීක්ෂකවරයා මාට්ටු
By Mithu
කොළඹ වරාය පොලිසිය සඳහන් කළේ, තීරු බදු රහිතව මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ වරාය නගර පොලිස් මුරපොළේ රාජකාරී කරන උප පොලිස් පරීක්ෂකවරයෙකි. සැකකරු සමග දුම්වැටි 14,400 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක චන්දිමාල් වික්‍රමසිංහ සහ අනෙකුත් නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායමක්, වරාය නගර පොලිස් මුරපොළ ගොඩනැගිල්ලේ යාබද අබලි දවය ගබඩා කර ඇති කාමරයක සඟවා තිබූ මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම දුම්වැටි තොගය වර්ග පහකින් සමන්විත බවත්, සැකකරු 2019 වසරේ පොලිස් සේවයට බැඳුණු 29 හැවිරිදි පුද්ගලයෙකු බවත් පොලිසිය වැඩිදුරටත් දන්වා ඇත.