රටේ ප්‍රදේශ කිහිපයක රෝහල් පිරී යයි? ඩෙංගු මර්දන ඒකකයේ අලුත්ම වාර්තාව මෙන්න

Report

 මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් 50,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව, මේ වන විට ඩෙංගු ආශ්‍රිත මරණ 30ක්ද වාර්තා වී ඇති අතර, වසංගත තත්ත්වය රටේ ප්‍රදේශ කිහිපයක රෝහල් පද්ධතියට සැලකිය යුතු පීඩනයක් එල්ල කර ඇති බවද සඳහන් වේ.

එම ඒකකය පෙන්වා දෙන්නේ දිස්ත්‍රික්ක 14ක් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති අතර, ඇතැම් ප්‍රදේශවල රෝගීන් සංඛ්‍යාව රෝහල් ධාරිතාව ඉක්මවා ඇති බවයි.

දන්සල් දෙන අයට සහ කන අයට PHI වෙතින් හදිසි නිවේදනයක්- මේ වැරැද්ද කළොත් වැඩ වරදියි

දන්සල් දෙන අයට සහ කන අයට PHI වෙතින් හදිසි නිවේදනයක්- මේ වැරැද්ද කළොත් වැඩ වරදියි

මේ අතර, වසංගතය පාලනය කිරීමේ අරමුණින් අධි අවදානම් ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි දින තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිකුරාදා (26) අවසන් කර තිබේ.

උත්සව සමයේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ අවදානම සැලකිල්ලට ගනිමින්, පොසොන් දන්සල් සඳහා අනුමැතිය ලබා දීමේදී සෞඛ්‍ය බලධාරීන් විශේෂ කොන්දේසි පනවා ඇති බවද වාර්තා වේ. 

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ මේ වන විට ඩෙංගු රෝගීන් 50,459ක් සහ මරණ 30ක් වාර්තා වී ඇති බවයි.

මෙම සංඛ්‍යා ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවද ඇය පෙන්වා දුන්නාය.

මදුරු ඝනත්වයේ අඩුවීමක් තවමත් නොදක්නට ලැබෙන බැවින්, තම පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් බවද ඇය අවධාරණය කළාය. එළඹෙන දීර්ඝ සති අන්තය තුළ ජනතාවගේ ක්‍රියාකලාප හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බවද ඇය පෙන්වා දුන්නාය.

ඒ අනුව, මෙම කාලය ප්‍රයෝජනයට ගනිමින් නිවාස හා අවට පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඇය ඉල්ලා සිටියාය.

“මේක අපේ රට, අපේ රට පිරිසිදුව තබා ගැනීම වැදගත්. ඒකෙන් මේ රෝගය අඩු කරගන්න පුළුවන්. ඒ නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න. යම් කෙනෙකුට දින දෙකකට වඩා උණ පවතිනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී ඩෙංගුද නැද්ද යන්න තහවුරු කරගත යුතුයි. නොපමාව රෝහලට ගොස් රුධිර පරීක්ෂාවක් කරගෙන සැක හැර දැනගැනීම වැදගත්. ඩෙංගු බව තහවුරු වන තුරු උණ පාලනය සඳහා භාවිත කළ යුත්තේ පැරසිටමෝල් පමණයි. මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා''



යැයිද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.