චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය කොළඹදී සමරයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය ඊයේ (26) කොළඹදී සමරනු ලැබීය. මෙම විශේෂ සැමරුම් උත්සවය චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක්ව සංවිධානය කර තිබූ අතර, එය එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
උත්සවයට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්ග් හොන්ග්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ජී. වීරසිංහ මෙන්ම සර්වජන බලය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් එක්වූහ.
මෙහිදී සුබ පැතුම් පණිවිඩයක් යොමු කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ, සියවසකට අධික කාලයක් පුරා චීන කොමියුනිස්ට් පක්ෂය ලබාදුන් නායකත්වය තුළින් චීනය ජාතික සංවර්ධනය, සමාජීය ප්‍රගතිය සහ ජනතා සුබසාධනය යන ක්ෂේත්‍රවල විශාල ජයග්‍රහණ අත්කරගෙන ඇති බවයි.
එමෙන්ම චීන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට පමණක් නොව, ගෝලීය ආර්ථික වර්ධනය, තාක්ෂණික නවෝත්පාදනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටද චීනය සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති බවද ඇයගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් විය.
උත්සවයේදී අදහස් දක්වමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ, අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය මත පදනම් වූ මගපෙන්වීමක් තුළින් විවිධත්වය ශක්තියේ මූලාශ්‍රයක් බවට පත්කළ හැකි බව චීන අත්දැකීම් මගින් පැහැදිලි වන බවයි.
මෙය ශ්‍රී ලංකාවටද ආදර්ශයක් වන බව සඳහන් කළ අමාත්‍යවරයා, ජාතික එකමුතුව ශක්තිමත් කිරීම, ජාතික සහජීවනය සහ වාර්ගික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය කැපවී සිටින බවද පැවසීය.
එමෙන්ම චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කළේ චීනය සහ ශ්‍රී ලංකාව දිගුකාලීන මිත්‍රශීලි සබඳතා පවත්වාගෙන යන බවත්, දෙරටේ තරුණ පරපුර අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට වැදගත් දායකත්වයක් සපයන බවත්ය.