ප්‍රදේශ රැසකට විටින් විට වැසි සහ පැයට කිලෝමීටර් 50ක තද සුළං - කාලගුණෙන් අනතුරු ඇඟවීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ අනාවැකිය අද (අගෝස්තු 30) පස්වරු 4.00ට නිකුත් කර තිබේ.
ඒ අනුව, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා තිබේ.
මේ අතර, සූර්යයා දෘශ්‍ය ලෙස දකුණ දෙසට ගමන් කිරීමේදී අගෝස්තු 28 සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව හෙට (31) දහවල් 12.10ට නෙරියකුලම, පුනෑව, කැබිතිගොල්ලෑව, පන්කුලම සහ සිංහපුර යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇත.