කලා වැව සහ බළලු වැව හිඳෙයි- රජරට ගොවිතැනට සහ පානීය ජලයට දැඩි තර්ජනයක්

Report

 ඓතිහාසික කලා වැව සහ බළලු වැව යන නිවුන් වැව් පද්ධතිය මේ වන විට පවතින දැඩි නියඟය හමුවේ වේගයෙන් සිඳී යමින් පවතී. වැව් පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන පාරිසරික විනාශයද මෙම තත්ත්වයට බලපා ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි .

අක්කර දහස් ගණනක වගාබිම් සඳහා ජලය සපයන අතර, අනුරාධපුර තිසා වැව දක්වා ජලය රැගෙන යන ජය ගඟ පද්ධතියට ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන කලා වැව මෙලෙස සිඳී යාම රජරට කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබේ. පසුගිය කාලයේ ජලයෙන් පිරී ඉතිරී ගිය කලා වැවේ ඇතැම් ස්ථානවල මේ වන විට වැව් පතුල පවා පෙනෙන තත්ත්වයට පත්ව තිබේ.

වැවේ ඉතිරිව ඇති ජලයද පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් වේගයෙන් වාෂ්ප වෙමින් පවතින බව ධීවරයෝ සදහන් කර තිබේ කලා වැව ජාතික උද්‍යානය ආශ්‍රිතව වෙසෙන වනඅලි සිය ගණනකටද කලා වැව ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන අතර, ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලය පානය කිරීම සඳහා වනඅලින්ට වැව මැදටම පැමිණීමට සිදුව ඇති බව වාර්තා වේ.

යල කන්නයේ අස්වනු නෙළීම අවසන් කර තිබුණද, අතිරේක භෝග සඳහා තවදුරටත් ජලය සැපයීම සිදුවන බව ගොවීහු පවසති. මේ හේතුවෙන් ඉදිරි මහ කන්නය සඳහා ප්‍රමාණවත් ජලය ලබාගැනීම පිළිබඳව දැඩි අවදානමක් මතුව ඇත.

කලා වැව යටතේ වගා කටයුතුවල නිරත ගොවි පවුල් දහස් ගණනකගේ ජීවනෝපාය මේ තත්ත්වය හේතුවෙන් අඩාල වීමේ අවදානමක් පවතින බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. එමෙන්ම, කලා වැවෙන් ජය ගඟ ඔස්සේ අනුරාධපුරයට ගෙන යන ජලය නගරයේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහාද භාවිත කෙරේ.

කලා වැව, එප්පාවල ඇතුළු ප්‍රදේශ කිහිපයක පානීය ජල සැපයුම සඳහාද කලා වැවෙන් ගලා එන ජලය වැදගත් වන බැවින්, ඉදිරියේදී ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබුණහොත් පානීය ජල සැපයුමටද බලපෑම් එල්ල විය හැකි බවට අවධානය යොමුව තිබේ.

වැව අවට භූගත ජල මට්ටමද පහළ යමින් පවතින බැවින් ප්‍රදේශවාසීන් මේ වන විට දැඩි පානීය ජල හිඟයකට මුහුණ දෙමින් සිටින බව සඳහන් වේ. මේ අතර, ප්‍රදේශයේ කිරි ගව පාලනයේ නිරත ගොවීන්ටද පවතින වියළි කාලගුණය හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබේ.

තණබිම් සහ තණකොළ හිඟ වීම හේතුවෙන් ගවයන්ගේ පෝෂණ තත්ත්වය පහළ යමින් පවතින බව ගොවීහු සදහන් කර තිබේ තවදුරටත් නියඟය පැවතී වැවේ ජලය සම්පූර්ණයෙන්ම සිඳී ගියහොත්, ධීවර කර්මාන්තයේ නිරත පිරිසගේ ජීවනෝපායටද දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතී.