මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබේ.
ඉකුත් මාර්තු මාසයේදී ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එරටින් පිටුවහල් කරන ලද මොහු පසුගිය 14 වනදා මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ගුවන්තොටුපළේදී සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ ඩුබායි රාජ්‍යයට ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර පැවැති කාලවකවානුවේදී එරට සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිටියදී ඩුබායි පොලීසිය තමන්ව පරීක්ෂා කළ බවයි.
එහිදී ඔහුගේ ජංගම දුරකථනයේ තිබී ඉරාන ප්‍රහාරවල රූපරාමු හමු වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවත්, පිටුවහල් කරන තෙක්ම ඩුබායි නිලධාරීන් තමන්ගෙන් ඉරාන සබඳතා පිළිබඳව දිනපතා ප්‍රශ්න කළ බවත් ඔහු සඳහන් කර තිබේ. අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට එරට බලධාරීන් දැනුම් දුන් බව ද ඔහු පවසා ඇත.
පෙර පැවැති මත්ද්‍රව්‍ය චෝදනා නඩුවකින් පසු ඔහුට එරෙහිව තිබූ ජාත්‍යන්තර රතු නිවේදනය ඉවත් වී තිබූ අතර, මෙරට පොලීසිය නැවත රතු නිවේදනයක් ලබා ගැනීමට සූදානම් වන අතරතුරදී මොහු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
2018 ජූනි 02 වනදා නීත්‍යානුකූලව ඩුබායි වෙත ගොස් ඇති ඔහු, එරට තුළ මහා පරිමාණ ව්‍යාපාර දෙකක් පවත්වාගෙන යමින් අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදුන් සැකකරු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.