මරණ දඬුවම නියම වූ හසීනා ආපසු එන බව කියූ සැණින් බංග්ලාදේශය ගිනි ගනී - යූනුස්ගේ නිවසටත් ගිනි තබයි
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා යළි සිය මව්බිම බලා යාමට සූදානම් බවට කළ ප්‍රකාශයත් සමඟ එරට දේශපාලන අර්බුදය යළි උත්සන්න වී තිබේ.
ඇයගේ ආධාරකරුවන් විසින් සිදුකරන බවට වාර්තා වන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් බංග්ලාදේශයේ ප්‍රදේශ රැසක දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇත. හිටපු අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මුහම්මද් යූනුස්ගේ පාරම්පරික නිවස, බැංකු සහ වත්මන් පාලක BNP පක්ෂයේ කාර්යාල කිහිපයක් ගිනි තබා ඇති බව වාර්තා වේ.
ෂෙයික් හසීනාගේ යළි පැමිණීමේ නිවේදනයෙන් උණුසුම් වූ දේශපාලන තත්ත්වය

2024 අගෝස්තු මාසයේදී බංග්ලාදේශයේ ඇති වූ දැවැන්ත දේශපාලන හා සමාජීය නොසන්සුන්තාව හමුවේ ෂෙයික් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී ඉන්දියාවට ගොස් රැකවරණය ලබා ගත්තාය.
වසර දෙකකට අධික කාලයක් ඉන්දියාවේ රැඳී සිටින ඇය ලබන මාසයේදී නැවත බංග්ලාදේශයට පැමිණීමට සූදානම් බවට ප්‍රකාශ කර තිබේ.
අගමැතිනියව සිටියදී විපක්ෂ සාමාජිකයන් ඝාතනය කිරීම සහ රට තුළ ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වූ අතර, එම නඩු විභාගයෙන් මරණ දඬුවම ද නියම වී තිබේ.
මුහම්මද් යූනුස්ගේ පාරම්පරික නිවසට ගිනි තබයි

නැවතත් උත්සන්න වී ඇති ප්‍රචණ්ඩත්වයේ කොටසක් ලෙස චැටෝග්‍රෑම් නගරයේ පංචලයිෂ් ප්‍රදේශයේ පිහිටි මුහම්මද් යූනුස්ගේ පාරම්පරික නිවසට ගිනි තබා තිබේ.
ඊයේ රාත්‍රී 11.30ට පමණ මෙම ගිනි තැබීම සිදුව ඇති බව වාර්තා වේ.
සිද්ධිය සැලවීමත් සමඟ පොලිසිය සහ ගිනි නිවන ඒකක එම ස්ථානයට පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පංචලයිෂ් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති මුසාමිල් හක් සඳහන් කර ඇත්තේ, නිවසේ බිම් මහලේ කිසිවකු රැඳී නොසිටි බවයි.
එමෙන්ම මුහම්මද් යූනුස්ගේ සහෝදරයන් දෙදෙනකු දෙවැනි සහ තෙවැනි මහල්වල රැඳී සිට ඇති බවත්, ගිනි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බවත් ඔහු පවසා තිබේ.
මීට අමතරව මුහම්මද් යූනුස්ගේ ගම් ප්‍රදේශයේ බැංකු කිහිපයක් සහ වත්මන් අගමැති තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් යුත් BNP පක්ෂයේ කාර්යාල ද ගිනි තැබීම්වලට ලක්ව ඇති බව සඳහන් වේ.
මුහම්මද් යූනුස්ට එරෙහිව විරෝධයක් ඇවිළුණේ ඇයි?

2024 අගෝස්තු මාසයේදී ෂෙයික් හසීනා ධුරයෙන් ඉවත් වීමෙන් පසුව බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවනු ලැබීය.එහි ප්‍රධාන උපදේශකවරයා ලෙස නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස් කටයුතු කළේය. එම පාලන කාලය තුළ ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ දේශපාලන කටයුතු තහනම් කිරීමට පියවර ගෙන තිබිණි.
2024 අගෝස්තු මාසයේ සිට 2026 පෙබරවාරි දක්වා අන්තර්වාර පාලනය මෙහෙයවූ මුහම්මද් යූනුස්ගෙන් පසුව පැවති මහ මැතිවරණයෙන් BNP සන්ධානය ජයග්‍රහණය කර බලයට පත්විය. BNP නායිකා කලීඩා සියාගේ පුත් තාරික් රහ්මාන් අගමැති ධුරයට පත්විය.
අවාමි ලීග් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක්

මේ අතර ෂෙයික් හසීනාගේ ආධාරකරුවන් ඉල්ලා සිටින්නේ ඇයට එරෙහි චෝදනා සාධාරණ හා නිසි විමර්ශනයකට ලක් කළ යුතු බවත්, අවාමි ලීග් පක්ෂයට පනවා ඇති තහනම ඉවත් කළ යුතු බවත්ය.
කෙසේ වෙතත්, අගමැති තාරික් රහ්මාන් එම ඉල්ලීම්වලට එකඟතාව පළ කර නොමැති බව වාර්තා වේ. ඒ හේතුවෙන් ෂෙයික් හසීනාගේ ආධාරකරුවන්ගේ විරෝධතා තවදුරටත් උත්සන්න වී ඇති අතර, එම විරෝධතා ප්‍රචණ්ඩ ක්‍රියා දක්වා ව්‍යාප්ත වී තිබේ.
ඊයේ රාත්‍රියේ බංග්ලාදේශයේ ප්‍රදේශ රැසක නොසන්සුන්තාව පැතිර ගොස් ඇති අතර, අද දිනයේ රට පුරා වැඩවර්ජනයක් සහ වසා දැමීමක් ක්‍රියාත්මක කිරීමට ද විරෝධතාකරුවන් කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.
අගමැති තාරික් රහ්මාන්ගෙන් දැඩි ප්‍රකාශයක්

රට තුළ ප්‍රචණ්ඩත්වය උත්සන්න වෙමින් පවතින පසුබිමක බංග්ලාදේශ අගමැති තාරික් රහ්මාන් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.
අවාමි ලීග් සාමාජිකයන්ගේ උත්සාහයන්ට මුහුණ දීමට සියලු දෙනා එක්විය යුතු බවත්, ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් වැළැක්වීමට මහජනතාව කටයුතු කළ යුතු බවත් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.
මේ සමඟ බංග්ලාදේශයේ දේශපාලන අර්බුදය තවදුරටත් උග්‍ර වී ඇති අතර, ෂෙයික් හසීනාගේ යළි පැමිණීමත් සමඟ එරට ඉදිරි දේශපාලන තත්ත්වය කෙසේ වෙනස් වේද යන්න පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.