දිස්ත්‍රික්ක 17ක් සඳහා අද පස්වරු 1.00 සිට බලපැවැත්වෙන පරිදි දැඩි අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) පස්වරු 1.00 සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට දැඩි අකුණු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
දෙපාර්තමේන්තුවේ ස්වභාවික උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
ඒ අනුව අම්පාර, අනුරාධපුර, මඩකලපුව, හම්බන්තොට, යාපනය, කෑගල්ල, කිලිනොච්චි, කුරුණෑගල, මොනරාගල, මුලතිව්, නුවරඑළිය සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.
එමෙන්ම බදුල්ල, මහනුවර, මාතලේ, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
අද දහවල් 12.49ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (04) අලුයම 1.00 දක්වා වලංගු වන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දැඩි අකුණු හේතුවෙන් යටිතල පහසුකම් හා දේපළවලට හානි සිදුවීමේ අවදානමක් පවතින අතර, එළිමහන් කටයුතුවලට බාධා ඇතිවීම සහ විදුලි හා ඉලෙක්ට්‍රොනික පද්ධතිවලට බාධා එල්ලවීම ද සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ආරක්ෂිත ගොඩනැගිල්ලක් තුළ රැඳී සිටින ලෙසත්, ගස් යට හෝ විවෘත ස්ථානවල නවාතැන් ගැනීමෙන් වළකින ලෙසත් ජනතාවට උපදෙස් දී ඇත.
එමෙන්ම කුඹුරු, තේ වතු සහ විවෘත ජල කඳන් ආශ්රිත ප්‍රදේශවල රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත්, රැහැන් සහිත දුරකථන හා විදුලියට සම්බන්ධ උපකරණ භාවිතයෙන් වැළකී සිටින ලෙසත් දැනුම් දී තිබේ.
බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතය ද අවදානම් සහගත බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. තවද කඩා වැටුණු ගස් සහ විදුලි රැහැන් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත්, හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ බලධාරීන් දැනුවත් කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
