මෙහෙකරු ඝාතනය කර කෝටි දෙකේ වාහනය උස්සලා

Google Murder Latest Headlines Sinhala news Breaking News
By Ashfa Jun 16, 2025 07:26 AM GMT
Ashfa

Ashfa

Report

වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ නිවෙසක රැකවරණය භාරව සිටි පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කර, එම නිවසට අයත් වටිනා සුඛෝපභෝගී වෑන් රථයක් පැහැර ගැනීමේ සිද්ධියේ නව තොරතුරු අනාවරණය වී තිබේ. මෙසේ සොරකම් කරන ලද වෑන් රථය මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් ඉදිරිපිට අත්හැර දමා තිබියදී මහනුවර පොලිසිය විසින් ඊයේ (15දා) සොයා ගනු ලැබ ඇත.

අදාළ නිවෙසේ හිමිකරු ඉතාලියේ වාසය කරන ව්‍යාපාරිකයෙකු වන අතර, මහනුවර ප්‍රදේශයේ අත්හැර දමා තිබූ වෑන් රථය තුළ සැකකරුවන් විසින් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට සලකුණු දක්නට ලැබෙන බව පොලිසිය පවසයි.

තවද, මෙම වාහනය තුළින් පිහි කිහිපයක්ද සොයාගෙන ඇත. වෑන් රථය අත්හැර දැමූ සැකකරුවන් ඒ අසල ඇති බාලිකා විද්‍යාලයක් ඉදිරිපිට වාහනය නවතා, මහනුවර ගුෂෙඩ් බස් නැවතුම දෙසට ඇති අතුරු මාර්ගයේ ගමන් කර, පසුව යතුරුපැදියකින් වෑන් රථය ආසන්නයට යළි පැමිණ පිටව ගිය අයුරු ආරක්ෂක කැමරා දර්ශන වලින් සටහන් වී ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය ජුනි 13 වන දින දහවල් කාලයේ වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණය ආසන්නයේ පැබ්බ්‍රෝනියා මාවතේ පිහිටි නිවසකය.

මෙසේ ඝාතනය කර ඇත්තේ සුසිල් ක්‍රිෂාන්ත පෙරේරා නමැති වයස අවුරුදු 64ක පුද්ගලයෙකි. පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති අන්දමට, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහෝදරයන් දෙදෙනෙකු වන අතර, ඔවුන් මත්කුඩුවලට දැඩි ලෙස ඇබ්බැහිවූවන් බව හඳුනාගෙන ඇත. ඔවුන් විසින් නිවස රැකබලාගත් සුසිල් පෙරේරා නිරුවත් කර, ඔහුගේ අත්පා ගැටගසා ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මරණය සිදු වූ නිවසේ ඇඳක් යට සිරුර සොයාගෙන ඇති අතර, නිවස ඉදිරිපිට ගරාජයේ තිබූ වෑන් රථය ද නොමැති බව අනාවරණය කරගෙන ඇත. වෙන්නප්පුව, සිරිගම්පොළ ප්‍රදේශයේ පදිංචි මෙම සැක සහෝදරයන් දෙදෙනා පොලිසිය විසින් හඳුනාගෙන ඇත්තේ, සිද්ධිය වූ නිවසට ගමන් ගන්නා මාර්ගයේ දෙපස නිවෙස්වල ආරක්ෂිත කැමරා පද්ධති හා නිවසේ ආරක්ෂිත කැමරා පද්ධති නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බව ද පොලිසිය සඳහන් කරයි. ඔවුන් දෙදෙනා මීට පෙර මත්කුඩු සහ සොරකම් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියයි. පැහැරගත් වෑන් රථය රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී වාහනයක් බව වාර්තා වේ.

ඝාතකයන් විසින් නිවසේ ආරක්ෂිත කැමරා පද්ධතිය ක්‍රියා විරහිත කර, සුසිල් ක්‍රිෂාන්ත ඝාතනය කර වෑන් රථය රැගෙන පලා ගොස් ඇති බව පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. වෑන් රථය පුත්තලම දිශාවට ගමන් කර ඇති බව මාර්ගය දෙපස ආරක්ෂිත කැමරා පද්ධති නිරීක්ෂණය කිරීමෙන් අනාවරණය වී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව වෙන්නප්පුව අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන මහතා සඳහන් කළේය.

නිවසේ හිමිකරු ඇතුළු පවුලේ අය ඉතාලියේ වාසය කරන අතර, නිවස රැකබලා ගැනීමට ඔහුගේ පවුලේ සමීප සම්බන්ධයක් ඇති සුසිල් ක්‍රිෂාන්ත යන අයට භාරදී ඇත්තේ මීට වසර පහකට පමණ පෙර බවට තොරතුරු හෙළිවී තිබේ.

එම කාලය තුළ හිමිකරු කිහිප අවස්ථාවකම ලංකාවට පැමිණීමට කටයුතු කර තිබේ. නිවසේ ආරක්ෂාවට ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකර ඉතාලියේ සිට නිරීක්ෂණය කිරීමට ද හිමිකරු කටයුතු කරන අතර, නිවස රැකබලාගන්නා සුසිල් ක්‍රිෂාන්ත සමඟ දිනපතා දුරකතනයෙන් සම්බන්ධ වෙමින් දුකසැප විමසීමට ඉතාලියේ වෙසෙන හිමිකරු සෑම දිනකම උදෑසන 10.00ත් 11.00ත් අතර මෙසේ තොරතුරු විමසීම සිදු කරයි.

ඝාතනය සිදුවූ ජුනි 13 වැනි දින ද සුපුරුදු ලෙස කිහිප අවස්ථාවකම නිවස රැකබලා ගන්නා සුසිල් ක්‍රිෂාන්ත සමඟ සම්බන්ධ වීමට උත්සාහ කළ ද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීමෙන්, නිවසේ හිමිකරු ඔහුගේ ඥාති සහෝදරයකුට මේ බව සොයාබලන ලෙස දුරකතන ඇමතුමක් ලබාදී තිබේ. පසුව ඔහු නිවසට ගොස් සොයා බැලීමේදී, සුසිල් ක්‍රිෂාන්තගේ අතපය ගැට ගසා ඔහුව නිරුවත් කොට මරා දමා තිබූ බව දැක වහාම වෙන්නප්පුව පොලිසියට දැනුම් දී ඇත. මියගොස් සිටින සුසිල් ක්‍රිෂාන්ත පෙරේරා මාරවිල මූදුකටුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහුගේ බිරිය හා දියණිය හොංකොං නුවර වෙසෙන අතර වැඩිමහල් පුත්‍රයා ඉතාලියේ සේවය කරයි. බාල පුතා මාරවිල මූදුකටුව නිවසේ ජීවත් වේ. පොලිස් විමර්ශන සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වයි. 

ReeCha