අද රට පුරා සියලු පාසල් වලට විශේෂ දිනයක් වෙයි..තවත් දීර්ඝ නිවාඩුවක් අත ලඟ..

Ministry of Education Sri Lankan Schools Education
By Aruna Apr 24, 2024 01:15 AM GMT
Aruna

Aruna

Report

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු සඳහා අද (24) දින සිට යළි සියලු පාසල් ආරම්භ වනවා.

ඒ අනුව මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද ආරම්භ වේ.

එය ලබන මස තුන්වනදා දක්වා ක්‍රියාත්මක අතර පළමු වාරයේ තුන්වන අදියර ලබන මස 20 වනදා සිට 31 වනදා දක්වා පැවැත් වීමට නියමිතයි.

කෙසේ වෙතත්, සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මේ අනුව සතියකින් අනතුරුව යළි පාසල් දරුවන්ට නිවාඩුවක් හිමිවේ.

මේ අතර, ජනාධිපති කාර්යාලය පළාත් හයක ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ, පාසල් පෝෂණ වැඩසටහන සඳහා මේ වන විටත් නිකුත් කර ඇති සහල් තොග, පාසල පිහිටි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ද ඇතුළත් පාසල් පෝෂණ කමිටුව මගින් නැවත පරීක්ෂාවට ලක් කර සුදුසු මට්ටමේ පවතින සහල් පමණක් පාසල් ආහාර වැඩසටහනට යොදා ගන්නා ලෙස ය.

නැගෙනහිර , ඌව,උතුර,සබරගමුව,වයඹ සහ මධ්‍යම යන පළාත් 06 සඳහා මෙම අඳාල උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති කාර්යාලය ඊයේ සවස නිවේදනය කළේ,වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ, ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් පත් කරන ලද විද්වත් කමිටුව මගින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් බව ය.

තව ද, මැයි 31 ට පෙර ජාත්‍යන්තර ආහාර ඇසිරීමේ තත්ත්ව ප්‍රමිතීන්ට අනුව ඇසුරුම් කර තිබෙන මෙම සහල් තොග භාවිත කිරීමට සුදුසු බවට නිර්දේශ කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් ය.

පාසල් ආහාර වැඩසටහන සඳහා මෙම සහල් තොග බෙදා හැරෙන්නේ '' නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්'' තේමාව යටතේ වන අතර ,ඒ පිලිබඳ ව සැලකිලිමත් වීම වැදගත් ය.

මෙම සහල් තොග පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් පරීක්ෂා කරනු ලැබ ඇතත් යම් හෙයකින් නුසුදුසු මට්ටමේ යම් සහල් ප්‍රමාණයක් පවතී නම් ඒවා පාසල් ආහාරයට එකතු නොකිරීමට කටයුතු කළ යුතු බව ද එවැනි ආහාර තොග සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවශ්‍ය උපදෙස් නොපමාව ලබා දීමට කටයුතු කරන බව ද පළාත් ලේකම්වරුන්ට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.