2026 අංක 8 පරිපූරක ඇස්තමේන්තුව හෙට අනුමතිය සඳහා විවාදයට
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් (ඩ්‍රෝන පද්ධතියක්) ස්ථාපිත කිරීමට අවශ්‍ය රුපියල් මිලියන 4,261ක පරිපූරක ඇස්තමේන්තුව හෙට (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
TIN එක නැතත් Bank Account ඇරීමට සහ Revenue License ගන්න අවස්ථාව - මුදල් අමාත්‍යාංශයෙන් හදිසි නිවේදනයක්
2026 අංක 8 දරන මෙම පරිපූරක ඇස්තමේන්තුව මගින් ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයේ වෙනත් අරමුදලකින් රුපියල් 4,261,000,000.00ක මුදලක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත වෙන් කිරීමට නියමිතය.
බෙංගාල බොක්ක ඇතුළු කලාපයේ වෙනස් වන මෙහෙයුම් පරිසරය සහ නිරන්තරයෙන් හටගන්නා අහිතකර කාලගුණික ආපදා තත්ත්වයන් හමුවේ ඇතිවන තර්ජනවලට මුහුණදීම සඳහා මෙම නියමුවන් රහිත ගුවන්යානා පද්ධතිය ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.
මීට අමතරව, හෙට දිනයේ පූර්වගාමී තීරණය පරිදිම පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා භාර (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය ප්‍රකාරව අදාළ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවන්නේ නම්, එළඹෙන සිකුරාදා (06) දින පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු වෙනසක් සිදු නොවන බව ද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.