සාරා ජස්මින් ජීවතුන් අතර ඉන්නවා මිය ගිය කතාවක් නැහැ - ආරක්ෂක ඇමති කියයි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහරාන් හෂීම්ගේ බිරිඳ සහ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගොස් ඇති බව මීට පෙර රජය සමයේ තහවුරු කිරීමට උත්සාහ දැරුවද, ඇය ජීවතුන් අතර සිටින බවට කරුණු මේ වන විට විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සාරා ජස්මින් මෙරටින් පලාගොස් ඇති බවට සැක පහළ වී ඇති අතර, ඇය සම්බන්ධයෙන් පවතින විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේය. ඇය අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය නම් විවෘත වරෙන්තුවක් ලබාගැනීමට කටයුතු කරන බවත්, ඉන්දියාවේ රැඳී සිටින බවට මෙතෙක් නිල තොරතුරු නොලැබුණද ඒ පිළිබඳ ගැඹුරු විමර්ශන ක්‍රියාත්මක බවත් ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන හෝ වෙනත් කුමන්ත්‍රණයක් පැවතිද යන්න පිළිබඳ නව රජය යටතේ විශේෂ අවධානය යොමු වී ඇති බවත්, විමර්ශනවලට බාධාවක් විය හැකි නිසා සංවේදී තොරතුරු මේ මොහොතේ හෙළි නොකරන බවත් ඔහු පැවසීය.
මුජිබර් රහුමාන් මහතා පෙන්වා දුන්නේ, වත්මන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විපක්ෂයේ සිටියදී පවා සාරා ජස්මින් ඉන්දියාවේ සිටින බව ප්‍රකාශ කළ බවයි. විදේශගත පාතාල සාමාජිකයන් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ආකාරයටම ඇය සම්බන්ධයෙන් විවෘත වරෙන්තුවක් ලබා නොගන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළ අතර, ඉන්දියාවේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී මේ පිළිබඳ කරුණු මතු කළේදැයි විමසීය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වෙනුවෙන් පිළිතුරු දුන් ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ, අවශ්‍යතාව අනුව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග සහ වරෙන්තු ලබාගැනීමට රජය පසුබට නොවන බවයි. තවද, රාජ්‍ය බුද්ධි සේවයේ අසමත්කම් සහ තාජ් සමුද්‍ර හෝටලය සම්බන්ධ බුද්ධි තොරතුරු නොසලකා හැරීම වැනි කරුණුද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 250කට අධික සංඛ්‍යාවක් මියගිය අතර, සාරා ජස්මින්ගේ මරණය සම්බන්ධ DNA පරීක්ෂණවලදී පසුගිය රජයන් යටතේ තහවුරු නොවූ බව නවතම වාර්තාවලින් පෙනී යයි. මෙම විමර්ශන තවදුරටත් පුළුල් වෙමින් පවතින අතර, ඉන්දියාව සමඟ සහයෝගීතාව තුළ ඇයගේ ස්ථානය තහවුරු කිරීමට උත්සාහ දරමින් සිටී.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා :
“පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා. සහ සාරා ජස්මින් මිය ගියේ නැති බවට යම් යම් තොරතුරු මේ වෙනකොට අණාවරනය වෙලා තියෙනවා, විමර්ෂන අංශයෙන්. අපිට කිසිදු තොරතුරක් වාර්තා වෙලා නැහැ සාරා ජස්මින් ඉන්දියාවේ ඉන්නවැයි කියලා. නමුත් විමර්ෂන දිගින් දිගට පැවැත්වෙනවා වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර තොරතුරු අනුව අධිකරණ ක්‍රියාමාර්ගත් මේ වෙනකොට අරන් තියෙනවා. සහ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූවේදැයි යන්න පිළිබඳ විමර්ෂන තමා නව රජය යටතේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ, මේකේදී ගැඹුරු විමර්ෂනයක් සිද්ධ වෙමින් පවතිනවා.
සමහර කාරනා විමර්ෂනයට බාධාවක්. ඒ හින්දා මම පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ හෙළි කරන්න අදහස් කරන්නේ නැහැ. ඉතින් විමර්ෂන සිද්ධ කරනවා, අවශ්‍යනම් සාරා ජස්මින්ව වරෙන්තුව ගන්න අපි කටයුතු කරනවා”