මැතිවරණ සමයේ ගොවියා රජ කෙරූ මාලිමාව අද ගොවියා අන්ත අසරණ කරලා - විපක්ෂ නායක සජිත්
මැතිවරණ සමයේ වේදිකා තුළ ගොවියා රජකරවූ මාලිමාව අද වනවිට පොරොන්දු වූ සහතික මිලත් වගා සහනාධාරත් අහිමි කර ගොවියා අසරණ කර ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉහළ ගුණාත්මක පොහොර සහ පොහොර සහනාධාර නොලැබෙන බවත් දරාගත හැකි මිලකට කෘෂි රසායන නොලැබෙන බැවින් අද වනවිට ගොවිතැන දුෂ්කර වී ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව බව කියා සිටියේ අනුරාධපුර විලච්චිය කොට්ඨාසයේ මැද ඔයාමඩුව ගම් පියසේ පිහිටි ශ්‍රී උත්තරවාසී විහාරස්ථානයේ පැවති උත්සවයකට අද (14) එක්වෙමිනි. මැතිවරණ සමයේ දී වී සඳහා සහතික මිල රු 150ක් කර නීති මගින් සනාථා කරන බවට පැවසුවත් තෙත වී ගන්නේ රු 90- ට 95ට බැවින් සහතික මිල මහපොළොවේ යථාර්ථයක් වී නැති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
අලි මිනිස් ගැටුම නිසා බරපතල ගැටලු රැසකට මුහුණ දෙමින් වගා කටයුතු කළත් පොහොසතුන් ගොවියාගේ වී ටිකෙන් පවා සූරා කන තැනට රට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද වන විට රටේ බරපතල ඖෂධ හිඟයක් ඇති බවත් රජයේ රෝහල්වල පවා බෙහෙත් නොමැති බැවින් පෞද්ගලික ෆාමසිවලින් විශාල මුදලක් ගෙවා බෙහෙත් ගැනීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
බරපතල රෝගී තත්ත්වයෙන් පෙළෙන ජනතාවට නොමිලේ ඖෂධ ප්‍රමාණවත් තරම් ලබාදීමට නොහැකි නම් නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියෙන් ඵලක් නැති බවත් ප්‍රේමදාස මහතා කීවේය. අද වන විට ගොවියා අමතක වූවාට මැතිවරණ සමයේ ගොවියා රවටා ජන්දය ගන්න කටයුතු කරන බවත් ඔවුන් එසේ කළත් සමගි ජන බලවේගය බලයත් ඇතුවත් නැතුවත් ගොවියා සුරකින්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.