ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට
ඔලිම්පික් ශූරයා සහ ලෝක ශූරයා ඇතුළු සුපිරි තරු රැසක් අබිබවා යමින් 'වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප්' මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග අද (15) අලුයම දිවයිනට පැමිණියේය.
වත්මන් ඔලිම්පික් ශූර පාකිස්තානයේ අර්ෂාඩ් නදීම්, ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් සහ ජර්මනියේ ජුලියන් වෙබර් ඇතුළු ලොව විශිෂ්ටතම ක්‍රීඩකයින් 8 දෙනෙකු පරාජය කරමින් ඔහු මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේය.
තරගයේ අවසන් උත්සාහයේදී මීටර 91.09ක දැවැන්ත දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංගට ඇමෙරිකානු ඩොලර් 150,000ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5කට ආසන්න) මුදල් ත්‍යාගයක් ද හිමි විය.
මීට පෙර පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ ඩයමන්ඩ් ලීග් ශූරතාවලිය ද ජයගෙන සිටි ඔහු, මෙසේ වර්ල්ඩ් අල්ටිමේට් ශූරයා ලෙස ද කිරුළු පැළඳීමට සමත් විය.
දිවයිනට පැමිණි පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුමේෂ් පැවසුවේ තමාගේ ඊළඟ ප්‍රධාන ඉලක්ක වන්නේ ආසියානු ක්‍රීඩා උලෙළ, ලෝක ශූරතාවලිය සහ ඔලිම්පික් උලෙළ යන තරගාවලි තුනෙන් ශ්‍රී ලංකාවට පදක්කම් දිනාදීම බවයි.
එසේම තමා පැමිණි ගමන පිළිබඳව සකස් කළ ග්‍රන්ථය එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා එළිදැක්වීමට නියමිත බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.