පිටකොටුවේ කෝටි 2ක කොල්ල කෑමක් - 8 දෙනෙකුට වැඩ වරදී
පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට අයත් රුපියල් කෝටි 2කට අධික මුදලක් එහි සේවකයකු විසින් බැංකු ගතකිරීමට රැගෙන යාමේදී කොල්ලකෑමක් සිදු වූ බව පෙන්වා සැලසුම් කර, එම මුදල් පැහැරගත් කාන්තාවක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශය විසින් සිදුකල වැටලීමකදීය.
කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂාවට ලක්කර ඇත.
එලෙස පරික්ෂා කිරිම් සිදුකර ඇත්තේ පෑලියගොඩ පොලිස් වසමේ නාරංමිණිය ප්‍රදේශයේදී වේ එහිදී ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයෙකු සන්තකයේ තිබූ බෑගයක් තුළ රුපියල් ලක්ෂ 30ක මුදලක් තිබී ඇත.
එම මුදල් සම්බන්ධයෙන් ඇති වූ සැකය මත එම පුද්ගලයා සහ ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 45ත් අතර පසුවේ. එවගේම සැකකාරියට වයස අවුරුදු 60කි.
මෙම සැකකරුවන් කැලණිය, පෑලියගොඩ, වැල්ලම්පිටිය, මාවනැල්ල හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
එම සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම මුදල පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවකයෙකු විසින් එම ආයතනට අයත් මුදල් බැංකුගත කිරීමට රැගෙන යාමේදී කොල්ලකෑමක් සිදුවූ බවට හැඟීයන පරිදි සැලසුම් කර සැකකරුට ලබාදී ඇති බව අනාවරණය කරගන්නට හැකි වී ඇත.
මෙම අපරාධයට අදාළව තවත් රුපියල් ලක්ෂ 15ක මුදලක් සමග සැකකාරියක් සහ රුපියල් දෙකෝටි විසි දෙලක්ෂ හතලිස් පන්දාහක මුදලක් (22,245,000) සමග තවත් සැකකරුවන් පස් දෙනෙකු, අපරාධයට යොදාගත් යතුරුපැදියක් ද ඒ පිළිබඳ වැඩිදුර පොලිස් විමර්ශන වලදී අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සිදුවීම පිළිබද වැඩිදුර විමර්ශනයන් කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශය විසින් සිදු කරනු ලබයි.