බීර හදන්න සහල් හා සීනි භාවිත කරනවාද - පෙත්සම යළි විභාගයට කැඳවීමට දින නියම වෙයි
බීර නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීමට අවසර ලබා නොදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම ලබන ඔක්තෝබර් 02 වන දින යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එම භාවිතය අනුමත නොකරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ආර්. ගුරුසිංහ සහ ඒ. ප්‍රේම් ශංකර් යන මහත්වරුන් හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී, වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන කේ. කනගීෂ්වරන්, සුමති ධර්මවර්ධන සහ අලි ශබ්රි යන මහත්වරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ විරෝධතා ගොනු කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසයි.
එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය වගඋත්තරකරුවන්ට විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර ලබා දී ඇති අතර, පෙත්සම ඔක්තෝබර් 02 වන දින නැවත කැඳවීමට නියම කර ඇත.
බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු සුරාබදු නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ සුරාබදු පනතට අනුව බීර යනු මෝල්ට් භාවිතයෙන් නිෂ්පාදනය කරන පැසුණු මත්පැන් වර්ගයක් ලෙස අර්ථ දක්වා ඇති බවයි.
එහෙත් වර්තමානයේ ඇතැම් නිෂ්පාදකයින් බීර නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති බවද ඔවුන් සඳහන් කරති.
එම ක්‍රියාවලිය සුරාබදු පනතේ විධිවිධානවලට පටහැනි බවත්, රජය විසින් සහල් නිෂ්පාදනය සඳහා සහනාධාර ලබා දෙන අවස්ථාවක එම සහල් වාණිජ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගැනීම රටේ ආහාර සුරක්ෂිතතාවයට සහ ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවත් පෙත්සම්කරුවන් අවධාරණය කර තිබේ.
එමෙන්ම මත්පැන් නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රමිතීන් අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පවතින ක්‍රමවේද වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි යාවත්කාලීන වී නොමැති බවද පෙත්සමේ සඳහන් වේ.
ඒ අනුව, බීර නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිත කිරීමට අනුමැතිය ලබා දීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටිති.