ශ්‍රී ලාංකිකයන්ට සුබ ආරංචියක් - වීසා නැතිව තායිලන්තයට යන්න අවස්ථාව - තායි කැබිනට් මණ්ඩලයෙන් කොළ එළියක්
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස ලබාදීමට අදාළ ගිවිසුම් කෙටුම්පත තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
තායිලන්ත රජයේ නියෝජ්‍ය ප්‍රකාශිකා ප්ලොයිතලේ ලක්ෂමීසෙන්ග්ජන් සඳහන් කළේ පසුගිය අඟහරුවාදා (17) පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබාදුන් බවයි.
ඒ අනුව, අදාළ ගිවිසුමට අත්සන් තැබීම සඳහා තායිලන්ත විදේශ අමාත්‍යවරයාට හෝ ඔහුගේ නියෝජිතයෙකුට බලය පැවරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
යෝජිත ගිවිසුමට අනුව දෙරටේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව අනෙක් රටට ඇතුළුවීමට, පිටවීමට හෝ එරට හරහා සංක්‍රමණය වීමට අවස්ථාව හිමිවේ.
කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න
ඒ අනුව එක් සංචාරයකදී දින 30ක උපරිම කාලයක් රැඳී සිටීමට අවසර හිමිවන අතර, දින 180ක කාලසීමාවක් තුළ රැඳී සිටිය හැකි සමස්ත කාලය දින 90කට සීමා වේ.
කෙසේ වෙතත්, දින 30කට වැඩි කාලයක් රැඳී සිටීමට, රැකියාවක නිරත වීමට, අධ්‍යාපන කටයුතුවල නිරත වීමට හෝ විශේෂ අවසරයක් අවශ්‍ය වෙනත් කටයුත්තක නිරත වීමට අපේක්ෂා කරන පුද්ගලයන් අදාළ වීසා බලපත්‍ර ලබාගත යුතු බව ද ගිවිසුම් කෙටුම්පතේ සඳහන් වේ.
මහජන සාමය, මහජන සෞඛ්‍ය හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධ හේතූන් මත දෙපාර්ශ්වයටම ගිවිසුම සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අත්හිටුවීමට හැකියාව පවතින බව ද තායිලන්ත රජයේ නියෝජ්‍ය ප්‍රකාශිකාව සඳහන් කර ඇත.
එවැනි අත්හිටුවීමක් හෝ ගිවිසුම අවලංගු කිරීමක් සිදුකරන්නේ නම්, අවම වශයෙන් දින 30කට පෙර රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ ලිඛිතව අනෙක් පාර්ශ්වය දැනුවත් කළ යුතුය. දෙරටම අදාළ දේශීය ක්‍රියාපටිපාටි සම්පූර්ණ කළ බවට නිල වශයෙන් දැනුම්දීමෙන් පසු 60 වැනි දිනයේදී ගිවිසුම බලාත්මක වනු ඇත.
එමෙන්ම, ගිවිසුමෙන් ඉවත් වීමට අපේක්ෂා කරන ඕනෑම පාර්ශ්වයකට රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ ලිඛිත දැනුම්දීමක් සිදුකළ හැකි අතර, එම දැනුම්දීම අනෙක් පාර්ශ්වයට ලැබුණු දින සිට 90 වැනි දිනයේදී එය බලාත්මක වනු ඇත.
මෙම ගිවිසුම මගින් දෙරටේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට සංචාරය කිරීම වඩාත් පහසු වන අතර, සමීප බෞද්ධ හා සංස්කෘතික සබඳතා පවතින දෙරටේ ජනතාව අතර අන්තර් සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇති බව ප්ලොයිතලේ පවසා තිබේ.
එමෙන්ම, විශේෂයෙන් සංස්කෘතික සංචාරක කර්මාන්තය සහ ආගමික සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම හරහා තායිලන්තයේ සංචාරක ක්ෂේත්රයට ද මෙම ගිවිසුමෙන් ප්රතිලාභ සැලසෙනු ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.