රුවන්වැලි සෑ පරිශ්‍රය අසල ගැටුමේ සද්ධාරතන හිමි ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ ඇයි - අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අධිකරණයෙන් නියෝග
අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ පිහිටි දන්සැල් කලාපයේ පැවති සත්යග්රහ භූමියේ ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන නැමැති අය ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි එළඹෙන 26 වැනි දින විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාට නියෝග කළේය.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, අදාළ ගැටුම අතරතුර රාජාංගනයේ සද්ධාරතන නමැත්තාට පහර දී තුවාල සිදු කිරීමේ සහ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත මේ මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලන්ගොඩ කස්සප හිමියන් හැර, සෙසු භික්ෂූන් වහන්සේලා සිව්නමට සහ සිවිල් පිරිමි පුද්ගලයන් දෙදෙනාට හා කාන්තාවට ඇප ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරුන් වන ඉන්දික ඉඹුල්පිටිය සහ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුන් මෝසමක් මගින් කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමිනි.
අදාළ මෝසම ඉදිරිපත් කරමින් නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ, තම සේවාදායක භික්ෂූන් වහන්සේලා සහ එහි සිටි පිරිස සමඟ ගැටුමකට මුල පුරමින් කලහකාරී තත්ත්වයක් සැලසුම් කළ රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ඇතුළු පුද්ගලයන් 25කට අධික පිරිසක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, අනුරාධපුර පොලීසිය හිතාමතාම ඔවුන්ට නිදැල්ලේ සිටීමට ඉඩ හැර ඇති බවයි.
තාත්තේ අද ළඟ ඉන්න බැරි වුණත්.. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 81 වැනි ජන්ම දිනයට නාමල්ගෙන් සංවේදී සටහනක්
ප්‍රශ්නගත ගැටුමට මූලිකවම වගකිව යුත්තේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු එම ස්ථානයේ රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන් බව ද නීතිඥවරුන් පෙන්වා දුන්හ.
කිසිදු ගැටුමක් ඇති නොවීමට වග බලා ගැනීමට පොලීසියට හැකියාව තිබියදී මැර කණ්ඩායම්වලට නීතිය අතට ගැනීමට පහසුවෙන් ඉඩ සලසා දුන් බවත්, අදාළ වීඩියෝ දර්ශන නරඹන විට එම මැර කණ්ඩායම් මෙහෙය වූයේ අනුරාධපුර පොලීසියේ නිලධාරීන් දැයි සැකයක් පවතින බවත් ඔවුහු සඳහන් කළහ.
කෙසේ වෙතත්, තම සේවාදායකයින් තවදුරටත් බන්ධනාගාරගත කර තැබීමේ අවශ්‍යතාවක් නොමැති බැවින් ඕනෑම ඇප කොන්දේසියක් මත ඔවුන් මුදා හරින ලෙස නීතිඥවරුන් දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් කළ ඇප ඉල්ලීම, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.