පතිරණ, හසරංග ඇතුළු ලාංකීය ක්‍රීඩකයින් 6 දෙනෙක් IPL කණ්ඩායම්වලින් ඉවතට
2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර කණ්ඩායම් විසින් නිදහස් කළ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හයදෙනෙකු ඇතුළත් වී තිබේ.
ඒ අතරට ශ්‍රී ලංකාවේ ප්රමුඛ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ද ඇතුළත් වීම විශේෂත්වයකි.
වාර්තා වන පරිදි, කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම මතීෂ පතිරණ නිදහස් කර ඇති අතර, ලක්නව් සුපර් ජයන්ට්ස් (LSG) කණ්ඩායම වනිඳු හසරංග ද කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.
එමෙන්ම, දිල්ලි කැපිටල්ස් (DC) කණ්ඩායම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නිදහස් කර ඇති බව සඳහන් වේ.
තාත්තේ අද ළඟ ඉන්න බැරි වුණත්.. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 81 වැනි ජන්ම දිනයට නාමල්ගෙන් සංවේදී සටහනක්
සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) කණ්ඩායම ද ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක නිදහස් කර තිබේ.
කෙසේ වෙතත්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දසුන් ශානක, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඊෂාන් මාලිංග සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නුවන් තුෂාර යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනා අදාළ නිදහස් කළ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් වී නොමැත.
ඒ අනුව, ඔවුන් අදාළ කණ්ඩායම්වල රඳවාගෙන ඇති බවට වාර්තා වේ.
මෙම තත්ත්වයත් සමඟ 2027 IPL තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට නව කණ්ඩායම් සමඟ එක්වීමේ අවස්ථාව උදා වී තිබේ.
කණ්ඩායම් විසින් නිදහස් කරනු ලබන ක්‍රීඩකයින්ට අදාළ සුදුසුකම් සහ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතා සපුරාලන්නේ නම් ඉදිරි ක්‍රීඩක වෙන්දේසියට (Auction) ඉදිරිපත් වීමේ අවස්ථාව හිමි වේ.
කෙසේ වෙතත්, මෙම ක්‍රීඩකයින් නිදහස් කිරීම සම්බන්ධයෙන් පළ වන තොරතුරු IPL කණ්ඩායම් 10හි නිල ක්‍රීඩක රඳවා ගැනීමේ ලැයිස්තු සමඟ තවමත් සම්පූර්ණයෙන් තහවුරු වී නොමැති බව ද සඳහන් කළ යුතුය.