රඹුක්කන සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට..! (UPDATE)

By Sithumi Apr 19, 2022 01:07 PM GMT
Sithumi

Sithumi

Report

Update 2022/4/19

රඹුක්කන ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම පිරිස අතර පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද සිටින බවය.

රඹුක්කන ප්‍රදේශයේදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පිරිසෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂවරිය තහවුරු කළේය.

අද අලුයම 1.30ට පමණ විරෝධතාවය ආරම්භ කිරීමත් සමග රඹුක්කන - මාවනැල්ල, රඹුක්කන - කෑගල්ල සහ රඹුක්කන කුරුණෑගල යන ප්‍රධාන මාර්ග තුනේම ගමනාගමනය ඇනහිට තිබුණි.  ඒ හේතුවෙන් දුම්රිය ගමන් වාර 08ක් ද ඇනහිටි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

...............................................

ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පල කරමින් අද මහනුවර කොළඹ දුම්රිය මාර්ගය රඹුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූ පිරිසක් විසිරුවා හැරීමට රඹුක්කන පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඉන් අනතුරුව ජිව උණ්ඩ භාවිත කරමින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් මේ වන විට එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි කෑගල්ල රෝහල් ආරංචිමාර්ග සදහන් කරන්නේ.

මේ වන විට තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් සිවු දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බවයි වාර්තා වන්නේ.

සිද්ධිය හේතුවෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් කෑගල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් අප වාර්තාකරු සදහන් කළා.

මේ අතර රඹුක්කන නගරයේ රැදි සිටින විරෝධතාකරුවන් සහ පොලිසිය අතර මේ වන විටත් දැඩි උණුසුම් තත්ත්වයක් මතුවී ඇති බව එහි සිටින අප වාර්තාකරු සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now